හදිසි සහන කටයුතු සඳහා ශ්‍රී ලංකාවෙන් නේපාලයට ඩොලර් මිලියනයක්.

නේපාලයේ ඇති වූ දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා රජය අමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් ලබාදීමට තීරණය කර ඇත . එමගින් විපතට පත් ජනතාව සඳහා හදිසි සහන හා මානුෂීය ආධාර සැපයීමට අපේක්ෂා කෙරේ.

ගංවතුර හා නායයෑම් හේතුවෙන් සිදුව ඇති ජීවිත හානි සහ ජනතාව මුහුණදී ඇති පීඩාව පිළිබඳව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සිය බලවත් කනගාටුව පළ කර ඇති අතර, ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව සිහිපත් කරමින් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ, මෙම දුෂ්කර අවස්ථාවේදී ශ්‍රී ලංකාව නේපාල ජනතාව සමඟ සිටිනා බවයි .

මේ අතර, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා නේපාල විදේශ කටයුතු අමාත්‍ය ශිෂීර් ඛනාල් සමඟ අද පෙරවරුවේ දුරකථන සංවාදයක නිරත වෙමින් ශ්‍රී ලංකාවේ ශෝකය, සහයෝගය සහ සහෝදරත්වය පළ කර තිබේ.