වතුර බෝතලයක් වැඩි මිලට විකිණූ යාපනයේ ආපනශාලාවකට ලක්ෂ 9 ක දඩයක් .

නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා පානීය ජල බෝතලයක් අලෙවි කිරීම සම්බන්ධයෙන් යාපනයේ ආපනශාලාවකට යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 950,000ක දඩ මුදලක් නියම කර ඇත .

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ යාපනය දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී, ලීටර් 1 බෝතල් කළ පානීය ජල බෝතලයක් සඳහා නියම කර තිබූ රු. 120 ක උපරිම සිල්ලර මිල ඉක්මවා එය රු. 200 කට පාරිභෝගිකයෙකුට අලෙවි කර ඇති බව තහවුරු කරගෙන ඇත .

ඒ අනුව අදාළ ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, පසුගිය 25 දින යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙලෙස දඩ මුදලක් නියම කර තිබුණා.

මේ අතර, භාණ්ඩයක් මිලදීගැනීමේදී එහි මුද්‍රිත මිල සහ නියමිත උපරිම සිල්ලර මිල පරීක්ෂා කරන ලෙසත් ගෙවන මුදල සඳහා නිවැරදි බිල්පතක් ලබාගෙන එය සුරක්ෂිතව තබාගැනීමට ජනතාවද අවදානයෙන් කටයුතු කළයුතු බව පාරිභෝගික අධිකාරිය පවසනවා.

නියමිත මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කිරීම හෝ වෙනත් පාරිභෝගික නීති උල්ලංඝනයක් පිළිබඳ තොරතුරු ඇත්නම්, කාර්යාල වේලාවන් තුළ 1977 පාරිභෝගික කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම්දෙන ලෙස ඒම අධිකාරිය මහජනතාව ගෙන් ඉල්ලා සිටී .