පාස්කු නඩුව අවසන්. තීන්දුව සැප්තැම්බර් 22 වනදා .

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය කුමන්ත්‍රණය කිරීම ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23270 ක් එල්ල කරමින් විත්තිකරුවන් විසි හතර දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ තීන්දුව ලබන සැප්තැම්බර් 22 වැනිදා නිකුත් කරන බව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (24) නිවේදනය කළේය.

ලිඛිත දේශන සඳහා ලබන සැප්තැම්බර් 08 වැනිදා යලි නඩුව කැඳවන ලෙසද එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේය .

මෙම නඩුවේ විත්තියේ සාක්ෂි විමසීම ඊයේ (24 ) පස්වරුවේ අවසන් කළ අතර ඉන් අනතුරුව අවසන් තීන්දුවට දින නියම කරනා ලදි . නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 23 දෙනෙක් සිය විත්ති වාචික ඉදිරිපත්කිරීම පසුගිය 17 වන දා ආරම්භ කළ අතර සාක්ෂි දුන් අතර දින හතරක් පැවති විත්තිවාචික ලබාදීම ඉකුත් 20 වනදා අවසන් විය .

එහිදි විත්තිකරුවන් 20 දෙනෙකු දෙමළ බසින් ඉදිරිපත් කළ අතර විත්තිවාචිකය සම කාලීනව දුවාලින් තුවාන් සදාම් විසින් සිංහල බසට පරිවර්තනය කරනු ලැබීය. ඉතිරි විත්තිකරුවන් තිදෙනෙකු තම විත්ති වාචික සිංහල බසින් ඉදිරිපත් කළේය .

නවරත්න මාරසිංහ, සුජීව නිශ්ශංක, සහ රාමනාදන් කන්නන් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩුවේ විභාගය පැවැත්වේ.

මෙ නඩුකරයට අදාළ පැමිණිල්ලේ සාක්ෂි ඉදිරිපත් කිරීම් ඉකුත් 13 වැනිදා අවසන් කෙරුණු අතර ඉන් අනතුරුව විත්තිකරුවන්ගේ විත්තිවාචක සහ විත්තියේ සාක්ෂි කැඳවීම (17) දින සිට ආරම්භ කලේය. ඉන් අනතුරුව දින දෙකක් විත්තිකරුවන්ගේ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි කැඳවනු ලැබීය.

ඒ අනුව අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා , ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ඇතුළු 35 ක් සි විත්තිය වෙනුවෙන් සාක්ෂි ලබා දුන්හ.

05 වන චුදිත හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාද සාක්ෂිකරුවකු ලෙස නම් කර සිටි අතර අද දින ඔහු එම සාක්ෂිය නොකැඳවිමට තීරණය කළ බව අධිකරණයට දැනුම් දුන්නේය.

නඩුවේ 17 වන මොහොමඩ් රයුෆ් යන චුදිත මිය ගොස් ඇති අතර නඩුවේ 6 වැනි චුදිත වන මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් නොහොත් ‘අබු තරීක්’ යන අය නිශ්ශබ්දව සිටීමට තීරණය කර ඇත.

චූදිත යින්ගේ පාපොච්චාරණ 10 ක් සාක්ෂි ලෙස පිළිගෙන ඇති අතර සඟවා තිබූ බෝම්බ පුපුරන ද්‍රව්‍ය , කඩු, ගිනි අවි, බෝම්බ සෑදීමට ගන්නා රසායනික ද්‍රව්‍ය ආදී නඩු භාන්ඩ 2076 ක් නඩු විභාගයේ දී ලකුණු කර ඇත. රජයේ රස පරික්ෂක වාර්තා ගනනාවක් සහ ඩී.එන්. ඒ වාර්තා සහ වෛද්‍ය වාර්තා සහ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තා විශාල ප්‍රමාණයක් ලකුණු කර තිබේ.

නඩු විභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර , අතිරේක සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා ඇතුළු අධිනීතිඥ මණ්ඩලයක් පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් කනීල් මද්දුමගේ, රවිදු යසස්, නිරෝෂන් සිරිවර්ධන, ලෝරන්ස් ඇඩම්ස් යන නීතීඥවරුන්ගෙන් සමන්විත නීතිඥයන් පිරිසක් පෙනී සිටියහ.

නඩුවේ විමර්ශන කටයුතු අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවේ පොලිස් පරික්ෂක පුෂ්පකුමාරගේ ප්‍රධානත්වයෙන් සිදුවේ.