ලක්ෂ 8 ක පෙළපොත් පරණ කඩදාසිවලට වික්ක දෙදෙනෙක් අත් අඩංගුවට .

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් නැගෙනහිර පළාතේ සිසුන් සඳහා බෙදාහැරීමට නිකුත් කර තිබූ රුපියල් ලක්ෂ 08ක් පමණ වටිනාකමින් යුතු පෙළපොත් තොගයක් අස්ථානගත වීමේ සිද්ධියට අදාළව පුද්ගලයින් දෙදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පෙළ පොත් තොගය ප්‍රවාහනය කළ ලොරි රථ රියදුරු විසින් එම පොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා ඇති බවත්, එසේ විකුණා රුපියල් 470,00 ක මුදලක් ලබාගෙන ඇති බවත් මේ පිළිබඳව තලංගම පොලිසිය පවසයි .

මෙලෙස අටථා අන්දමින් විකුණා ඇත්තේ නැගෙනහිර පළාතේ සිසුන් සඳහා බෙදාහැරීමට නිකුත් කර තිබූ පෙළපොත් 19,892 ක තොගයකි . එම පොත් තොගය ප්‍රවාහනය කිරීම සඳහා බියගම ප්‍රදේශයේ ආයතනයක් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සමග ගිවිසුම් ගතව තිබුනි . පසුගිය මැයි මාසයේ එම ආයතනයට අයත් ලොරි රථයක රියදුරෙක් විසින් එම පොත් තොගය ප්‍රවාහනය සඳහා භාරගෙන තිබුණි.

කෙසේවෙතත් පොත් තොගය නිසි පරිදි භාරදී නොමැති බවට තොරතුරු ලැබීමත් සමඟ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු විසින් පසුගියදා තලංගම පොලිසියට ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකර ඇත .

ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ පොලිසිය අදාළ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබු අතර සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ ඔහු විසින් එම පොත් තොගය කඩදාසි බරට බෝතල් පත්තරකරුවෙකුට විකුණා ඇති බවය.

ඒ අනුව එම පොත් තොගය මිලදී ගත් පුද්ගලයා ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොත් තොගය පෑලියගොඩ ප්‍රදේශයේ පරණ පත්තර සහ කඩදාසි අඹරන ආයතනයකට අලෙවි කර ඇති බව අනාවරණය වී ඇති අතර සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බව තලංගම පොලිසිය සඳහන් කළේය.