ජනපතිට යැවූ ලිපිය ලැබුන බවවත් දන්වා නෑ .

ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ නියෝජිත පිරිසක් ඊයේ (12) මහනුවරට පැමිණ මල්වතු මහා විහාර පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපානෝ බැහැදුටහ . එම අවස්ථාවේදී උන්වහන්සේ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ අණ්ඩුවේ උත්සහය සහ ඊට අදාල ව්‍යවස්ථා සංශෝධනය ගැන උන්වහන්සේ සිය අදහස් දැක්වූහ .

අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව තමන්වහන්සේලාගේ මතය දක්වමින් ජනාධිපතිවරයා වෙත යවූ ලිපිය සම්බන්ධයෙන් කිසිදු පිළිතුරක් මේ දක්වා නොලැබීම කණගාටුදායක බව උන්වහන්සේ එහිදී පැවසූහ.

ත්‍රෛනිකායික මහ නාහිමිවරු රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හිදී යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන් හා ධර්මයෙන් අනුශාසනා කිරීම අතීතයේ පටන් පැවත එන සිරිතක් බවත්,
එසේ වාචිකව මෙන්ම ලිඛිතවද සිදුකරන දැනුම්දීම්වලදී එම අදාළ දැනුම්දීම් ලද බවට පිළිතුරු ලිපි නාහිමිවරු වෙත යොමු කිරීම සාමාන්‍ය පිළිවෙත බවත් මහනාහිමියෝ පැවසූහ .

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු, ගොවි ජනතාව මුහුණ දී තිබෙන අර්බුද පිළිබඳව අදහස් දැක්වූ මහානාහිමියෝ වෙළඳපොළේ පවතින ප්‍රමිතියෙන් තොර අටපිරිකර සම්බන්ධව පැන නැගී ඇති ගැටළු ගැනද සිය අවධානය යොමුකළහ .

”මහා නායක හිමිවරුන් ජනාධිපතිතුමන් හට හෝ රාජ්‍ය පාලකයෝ හට ලිපියක් යැව්වොත් වෙනදට ඒ ලිපිය ලද බවට පිළිතුරක් එවනවා. මේ විනිසුරුතුමන්ලාගේ විශ්‍රාම වයස ගැටලුව සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගේ මතය සඳහන් කරලා යවපු ලිපියට මේ දක්වා පිළිතුරක් නැහැ. අඩුම වශයෙන් ඒ ලිපිය ලැබුණාද කියලවත් අපට දැනුවත් කරලා නෑ.

රටේ යම් ගැටලුවක් ඇති වූ විට ඒ සම්බන්ධයෙන් මහා සංඝරත්නය විසින් රාජ්‍ය පාලකයෝ හට අර්ථයෙන් ධර්මයෙන් දේශනා කිරීම රජ දවසේ සිට සිදු වූ දෙයක්. අවවාද අනුශාසනා ලබාදීම අප සාමාන්‍යෙන් සිදු කරනා දෙයක්. නමුත් දැන් සිදුවන දේවල් අපටත් ප්‍රශ්නයක්. මහා නාහිමිවරුන්ගෙන් ජනාධිපතිතුමන් හට ලිපියක් නොලද බව ඇතැම් මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවේ පවා පවසන අයුරු අපි දැක්කා ” උන්වහන්සේ පැවසූහ .