තමාට සක්‍රීය දේශපාලනයට යළි පිවිසීමේ කිසිදු අදහසක් නොමැති බව අමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ පවසයි.
වසර පහකට ආසන්න කාලයක් සේවය කිරීමෙන් පසු පෞද්ගලික හේතූන් මත තමා තානාපති ධුරයෙන් ඉවත් වූ බවත්, ඉවත් වන ලෙස රජයෙන් කිසිදු බලපෑමක් නොතිබූ බවත් ඔහු සඳහන් කළේය .
අමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ධුරයෙන් මෑතකදී ඉවත් වූ මහින්ද සමරසිංහ, අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහා නාහිමිපාණන් සහ මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නාහිමිපාණන් අද (09) බැහැදැක ආශීර්වාද ලබාගත් අවස්ථාවේ දී ඔහු මෙලෙස අදහස් පලකරනා ලදි .
තම තානාපති කාලය තුළ ශ්‍රී ලංකා – අමෙරිකානු සබඳතා ශක්තිමත් කිරීමටත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ගිවිසුම් සඳහා අමෙරිකාවේ සහය ලබා ගැනීමටත්, අමෙරිකාව විසින් පනවන ලද බදු 10% ක සීමාවක රඳවා ගැනීමටත්, එරටින් නාවික යාත්‍රාවක් සහ හෙලිකොප්ටර් කිහිපයක් ලබා ගැනීමටත් කටයුතු කළ බවද ඔහු පැවසීය .
වසර 27ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සේවය කර තිබුණද, තවදුරටත් දේශපාලනයේ නිරත නොවීමට තීරණය කර ඇති බව ඔහු පැවසීය.