ධීවර සහ නාවික ප්‍රජාව ඉලක්ක කර ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක් සිදුකර තිබේ .
එම නිවේදනයට අනුව මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 70 ක් දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු වීමේ වැඩි හැකියාවක් පවතියි .
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (09) නිකුත් කරන ලද අවදානම් කාලගුණ නිවේදනයට අනුව, දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල පවතින කාලගුණික තත්ත්වය රළු විය හැක. එම තත්ත්වය අනුව වෙරළාසන්න ධීවර කටයුතු සඳහා අතිශය අවදානම් සහගත බැවින්, එක්දින සහ වෙරළාසන්න රැකියාවේ නියුතු කුඩා යාත්‍රා ධීවර කටයුතු සඳහා පිටත්ව නොයන ලෙස අනතුරු අඟවයි .
එසේම, අවදානම් තත්ත්වයක් වාර්තා නොවන සෙසු ප්‍රදේශවලින් ධීවර කටයුතු සඳහා පිටත් වන ධීවර යාත්‍රා ද, මාතර සිට පොතුවිල් දක්වා නම් කරන ලද මෙම අවදානම් මුහුදු කළාපයට පිවිසීමෙන් වලකින ලෙස ධීවරයන්ට අනතුරු අඟවයි .
පවතින කාලගුණ තත්ත්වය සහ ඉදිරියේදී නිකුත් කරනු ලබන කාලගුණ නිවේදන කෙරෙහි නිරන්තර අවධානයෙන් පසුවන ලෙසත්, ආරක්ෂාව පිළිබඳ උපදෙස් අකුරටම පිළිපදිමින් වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සියලුම ධීවරයින්ගෙන් ඉල්ලා සිටියි.