දියේ ගිළී සිදුවෙන මරණ අඩු කරන්නට සැළැස්මක්.

දිවයින පුරා මහජන ආරක්ෂාව තහවුරු කරමින් දියේ ගිලීම් හේතුවෙන් සිදුවන මරණ අවම කිරීම සඳහා වූ පුළුල් ජාතික යාන්ත්‍රණයක් සකස් කිරීමේ කර්තව්‍යයේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් පසුගිය 24 වන දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.

දියේ ගිලීමෙන් සිදුවන මරණ අවම කරමින් දිවයින පුරා මහජන ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් ජාතික රාමුවක් ස්ථාපනය කිරීම සඳහා අන්තර් – ආයතනික සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමුවිය .

සභාවාරය ආරම්භ කරමින් අදහස් දැක් වූ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ජලයේදී සිදුවෙන අනතුරු සංඛ්‍යාව ඉහළ යාම හුදෙක් සාමාජීය ගැටලුවක් පමණක් නොව, මහජන ආරක්ෂාවට මෙන්ම ජාතික ආරක්ෂාවට ද බලපාන සුවිශේෂී කරුණක් බව පෙන්වා දුන්නේය.

විධිමත් හා සම්බන්ධීකරණය කරන ලද ජාතික ආරක්ෂණ යාන්ත්‍රණයක පවතින අඩුව රටට දැඩි අවදානමක් ගෙනදෙන බව සඳහන් කළ එතුමන්, දියේ ගිලීම් වැළැක්වීම සඳහා සඵලදායී, තිරසාර සහ බහු-ක්ෂේත්‍ර ප්‍රවේශයක් වහාම ගොඩනැගීමේ වැදගත්කම අවධාරණය කළේය.

මේ අතර, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා අදහස් දක්වමින්, කුඩා අවදියේ සිටම සිසුන් තුළ දැනුවත්භාවය සහ සූදානම ඇති කිරීම සඳහා ජාතික පාසල් විෂය මාලාවට ජල ආරක්ෂණ අධ්‍යාපනය ඇතුළත් කිරීමට යෝජනා කළේය.

අධ්‍යාපන පද්ධතිය තුළට ජල ආරක්‍ෂණ දැනුම අනුගත කිරීම මගින්, ගංගා, ඇළ දොළ සහ වෙරළාශ්‍රිත ප්‍රදේශ භාවිතයේදී වගකීම් සහගත ලෙස හැසිරීමේ සංස්කෘතියක් මෙන්ම වැළැක්වීමේ ස්වභාවයක් අනාගත පරපුර තුළ තහවුරු වන බව ඔහු සඳහන් කළේය.