ජනතාවගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සියළුම පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාර හදිසි පරික්ෂාවකට ලක්කිරීමේ වැඩපිළිවෙලක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අරඹා ඇත .
එම වැඩපිළිවෙල යටතේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි වැටලීම් 52ක් සිදුකර ඇත. එහිදී රෝගීන්ගේ පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා භාවිත කරන වෛද්‍ය රසායනාගාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් බරපතළ අනනුකූලතා රැසක් අනාවරණය කර ගැනීමට විමර්ශන නිලධාරීන් සමත්ව ඇත.
එහිදී රෝගී පරීක්ෂණ සඳහා භාවිත කරන ඇතැම් රසායනාගාර ද්‍රව්‍ය සහ උපකරණ කල් ඉකුත්වීම හේතුවෙන් භාවිතයට නුසුදුසු තත්ත්වයේ පැවතීම, ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු පැවතීම සහ භාවිතයේ පවතින ද්‍රව්‍ය සමඟ කල් ඉකුත් වූ ද්‍රව්‍ය ද එකට ගබඩා කර තිබීම වැනි බරපතළ වැරදි රැසක් නිරීක්ෂණය කර ගැනීමට හැකිව ඇත .
රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කිරීමට ගන්නා මෙවලම් කට්ටල (Glucometer Test Kits), ඩෙංගු රෝග විනිශ්චය සඳහා භාවිත කරන පරීක්ෂණ කට්ටල (Dengue Rapid Test Kits), විවිධ වර්ගයේ රසායනාගාර රසායනික ද්‍රව්‍ය, හෘද රෝගීන් සඳහා භාවිත කරන ජෙල් වර්ග (ECG/Ultrasound Gel), වෛද්‍ය පරීක්ෂණ සඳහා භාවිත කරන විවිධ වර්ණක ද්‍රාවණ සහ රසායන ද්‍රව්‍ය මෙලෙස නොසුදුසු තත්ත්වයෙන් සොයාගැනීමට හැකිව ඇත.
භාවිතයට නොසුදුසු සහ කල් ඉකුත්වූ රසායන ද්‍රව්‍ය ලඟතබා ගැනීම සහ භාවිතය සම්බන්ධයෙන් අදාළ පෞද්ගලික රෝහල් සහ රසායනාගාරවලට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට නියමිතය.