ත්‍රිභාෂා ජාත්‍යන්තර සාහිත්‍ය උළෙල 2026 ජූලි 24 ඇරඹේ .

ලංකාවේ ප්‍රථම ත්‍රිභාෂා ජාත්‍යන්තර සාහිත්‍ය උළෙල: “කොළඹ සාහිත සමය 2026” (Colombo Literary Festival 2026) ජූලි 24 දින ආරම්භ වේ.

​ශ්‍රී ලාංකීය සාහිත්‍ය ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සලකුණු කරමින්, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන තෙබසටම සම මුල් තැන දෙමින්, මෙරට ප්‍රථම වරට සංවිධානය වන ත්‍රිභාෂා ජාත්‍යන්තර සාහිත්‍ය මංගල්‍යය — “Colombo Literary Festival 2026” (කොළඹ සාහිත සමය 2026) එළඹෙන ජූලි මස 24 දින සිට 29 දින දක්වා කොළඹ 7, ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් (Independence Arcade) පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

​දින 6 ක් පුරා පෙ.ව. 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පැවැත්වෙන මෙම මහා සාහිත්‍ය උත්සවය, මෙරට ප්‍රධාන පෙළේ ප්‍රකාශන ආයතන පහක (05) හිමිකරුවන් අධ්‍යක්ෂ ධුර දරන Colombo Literary Festival (Pvt) Ltd ආයතනය විසින් සංවිධානය කරනු ලබයි.

​දේශීය හා ජාත්‍යන්තර බුද්ධිමය මුණගැසීමක්

​ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරයේද කීර්තිමත් ලේඛක ලේඛිකාවන්, විචාරකයන් සහ විද්වතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් හැඩවන මෙම උළෙල, පුළුල් සංස්කෘතික හා බුද්ධිමය සංවාද මණ්ඩපයක් වනු ඇතැයි සංවිධායකයෝ පවසති . සාහිත්‍යයේ වත්මන් ප්‍රවණතා, සමාජ-දේශපාලනික බලපෑම් සහ අනාගතය පිළිබඳව කෙරෙන ගැඹුරු සාකච්ඡා හා බුද්ධිමය සංවාද රැසක්ද ත්‍රිභාෂා ජාත්‍යන්තර සාහිත්‍ය උළෙලට ඇතුළත් වෙයි .

දෙස් විදෙස් විද්වතුන් මෙහෙයවන විවිධ තේමාවන් ඔස්සේ දිවෙන සංවාද මණ්ඩපයන්ට එක්වීමට සහ උසස් ගණයේ දේශීය හා ජාත්‍යන්තර කෘති එකම වහලක් යටදී පරිශීලනයට හා මිලදී ගැනීමට මෙම සහ භාගීවන්නට අවස්ථාව හිමි වෙයි . ඊට අමතරව සිනමා ලෝලීන් වෙනුවෙන් වෙන්වූ සුවිශේෂී සිනමා දැක්මක් කොළඹ 7, ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වේ. සාහිත්‍යමය අත්දැකීමට ආලෝකයක් එක් කරන සොඳුරු සංගීතමය වැඩසටහන්ද මීට ඇතුළත් ය.

වැඩිදුර තොරතුරු සහ සම්බන්ධීකරණය සඳහා:
​දුරකථන අංකය: ප්‍රදීප් සමරනායක – +94773165894
​විද්‍යුත් ලිපිනය: info@ colombolitfest.lk
​වෙබ් අඩවිය : colombolitfest.lk