මානසික ආබාධ සහිත දැරියක් අපයෝජනය කළ බික්ෂුවට වසර දහයක සිර දඬුවමක්.

මානසික පීඩාවකින් පෙළෙමින් සිටි බාලවයස්කාර දැරියකට වෛද්‍ය ප්‍රතිකාර කරන මුවාවෙන් බරපතළ ලිංගික අපයෝජනයට ලක්කිරීමේ චෝදනාවට වැරදිකරු වූ, භික්ෂුවකට කොළඹ මහාධිකරණය විසින් වසර 10 ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කර තිබේ.

මීට වසර පහකට පෙර සිදු වූ මෙම සිදුවීමට අදාළව දඬුවම් නියම කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි විත්තිකරුට එරෙහිව දැඩි නියෝග රැසක් ද නිකුත් කළේය.

නියමිත සිරදඬුවමට අමතරව, වින්දිත දැරිය වෙත රුපියල් ලක්ෂ 5 ක වන්දි මුදලක් ගෙවන ලෙස නියෝග කළ විනිසුරුවරයා, එකී වන්දි මුදල නොගෙවන්නේ නම්, නොගෙවන සෑම ලක්ෂයකටම වසරක බැගින් තවත් වසර 5 ක අතිරේක සිරදඬුවමක් ද විත්තිකරුට නියම කළේය .

විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබුණේ 1995 අංක 22 දරණ පනතින් සහ 2006 අංක 16 දරන පනතින් සංශෝධිත දණ්ඩ නීති සංග්‍රහයේ 365 (ආ) වගන්තිය යටතේ, බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාව මතය.

චෝදනාවට පිළිතුරු දෙමින් කරුණු දැක්වූ විත්තිකරු කියා සිටියේ ශරීරයේ තෙල් ගැල්වීම වෛද්‍ය ප්‍රතිකාරයක අංගයක් බවයි. එහෙත් සිය ලිංගික තෘප්තිය උදෙසා සැකකාර හිමිනම දැරියගේ ලිංගේන්ද්‍රිය ආශ්‍රිත ප්‍රදේශය අනවශ්‍ය ලෙස ස්පර්ශ කිරීම හා පිරිමැදීම හරහා මෙම අපරාධය සිදුකර ඇති බව අධිකරණය හමුවේ තහවුරු වී තිබේ.

ඉදිරිපත් වූ අධිකරණ වෛද්‍ය සාක්ෂි මඟින් ද දැරිය බලවත් ලෙස අපයෝජනයට ලක්ව ඇති බව සනාථ විය.

අදාළ දැරිය මුලින් අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයෙන් ප්‍රතිකාර ලබාගෙන තිබූ අතර, එහි ප්‍රතිකාර ප්‍රමාද බව සිතූ ඇයගේ මිත්තණිය ඉක්මන් සහනයක් පතා දැරිය මෙම ආශ්‍රමය වෙත යොමුකර ඇත.

දැරියගේ පියා විසින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ විය.

දඬුවම ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා අවධාරණය කළේ, අඩු ආදායම්ලාභීන් ජීවත්වන ප්‍රදේශයක ආශ්‍රමයක් පවත්වාගෙන යමින්, සහනයක් පතා තමා වෙත පැමිණෙන අසරණ පිරිස් මෙලෙස අපයෝජනය කිරීම ආගමික නායකයකුගෙන් සමාජය කිසිසේත් අපේක්ෂා නොකරන නින්දිත අපරාධයක් බවයි.