තමන් නියුතු රැකියා සහ පොදු සේවාවන් හරහා දේශීය ප්‍රජාවගේ ස්ථිර සාමාජිකයන් බවට පත්ව සිටින ශ්‍රී ලාංකික පවුලක් පිටුවහල් කිරීමට ගෙන ඇති තීරණයට මැදිහත් වන ලෙස බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලා තිබේ.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් ලිබරල් ඩෙමොක්‍රටික් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී වික්ටෝරියා කොලින්ස් එම ශ්‍රී ලංකික පවුල වෙනුවෙන් මෙලෙස අදහස් දැක්වූවාය .
”සත්කාරක සේවකයකු ලෙස සේවය කරන රසික සහ විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත දරුවන්ට සහය වෙමින් ‘නෝර්ත්චර්ච්’ ප්‍රාදේශීය දේවස්ථානයේ ස්වේච්ඡා ගුරු සහකාරියක ලෙස සේවය කරන ඔහුගේ බිරිඳ චමිලා රටින් පිටුවහල් කිරීමට තීන්දු කර තිබේ. එම තීන්දුව ගැන පාර්ලිමේන්තුවේ අවධානය යොමුවිය යුතුය .
මෙම යුවළ සහ ඔවුන්ගේ කුඩා දරුවන් තිදෙනා පසුගිය වසර හතරක කාලය තුළ තම බලප්‍රදේශය තුළ ජීවිතය ගොඩනඟා ගෙන තිබේ . ඔවුන් නිසි සංක්‍රමණ නීති සහ ක්‍රියා පටිපාටි අනුගමනය කර ඇති තියෙනවා . එහෙත් මේ කිසිවක් නොතකා දින 14ක් ඇතුළත බ්‍රිතාන්‍යයෙන් පිටව නැවත ශ්‍රී ලංකාවට යන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යාංශය එම පවුලට නියෝග කර තිබෙනවා .
මෙම තීරණය දැඩි කනස්සල්ලට කරුණක් . ඊට එරෙහිව ප්‍රදේශවාසීන් එම පවුල වටා රොද බැඳගෙන සිටිනවා . මෙම නියෝගය පිළිබඳව ඔවුන් සිය කනස්සල්ල පලකරනවා . දේශීය ප්‍රජාවේ බොහෝ දෙනෙක් ඔවුන් සමාජයට ධනාත්මක දායකත්වයක් ලබාදුන් කාරුණික, වෙහෙස මහන්සි වී වැඩ කරන සහ කැපවූ පුද්ගලයන් ලෙස සලකනවා, ඔවුන්ව හඳුන්වන්නේ ‘පෙරමුණේ සේවකයන් සහ අපේ ප්‍රජාවේ කුළුණු’ ලෙසයි,” පාර්ලිමේන්තු මන්ත්‍රීනී වික්ටෝරියා කොලින්ස් පවසන්නීය .
මේ සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස ඉල්ලා තමන් දැනටමත් ආගමන විගමන අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කර ඇති බව පැවසූ මන්ත්‍රීවරිය, අමාත්‍යවරයාගෙන් සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් කඩිනම් පියවරක් ගන්නා ලෙස පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියාය .
එමෙන්ම මෙවැනිම තත්ත්වයන්ට මුහුණදීමට සිදුවිය හැකි අනෙකුත් පවුල් සඳහා ද සහතිකයක් ලබා දෙන ලෙස ඇය ඉල්ලා සිටියාය .
මීට අදාලව ප්‍රතිචාර දැක්වූ නියෝජ්‍ය කථානායක කැරොලයින් නෝක්ස් මෙම ගැටලුව මූලාසනය විසින් තීරණය කළ යුතු එකක් නොවන බව පෙන්වා දී තිබේ .