පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 10 වැනි ජාත්‍යන්තර දමිළ විද්‍යා පර්යේෂණ සම්මේලනය ඇරඹේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලීය ජාත්‍යන්තර දමිළ විද්‍යා (Tamilology) පර්යේෂණ සම්මේලනය විශ්ව විද්‍යාලීය ශ්‍රාස්ත්‍ර පීඨයේදී අද (11) ආරම්භ විය.

දෙමළ අධ්‍යයන අංශය විසින් “Multi Disciplines in Tamil” යන තේමාව යටතේ සංවිධාන කළ මෙම වාර්ෂික පර්යේෂණ සමුුළුවේ පළමු දිනය සැසිවාර හතරක් යටතේ පැවැත්වුණු අතර ඒ සඳහා පර්යේෂණ පත්‍රිකා 20ක් ඉදිරිපත් කිරීම සිදුවිය.

මෙම දෙදින පර්යේෂණ සමුළුව සඳහා ශ්‍රී ලංකාවේ විවිධ විශ්වවිද්‍යාල නියෝජනය කරන පර්යේෂකයන් සමඟ ඉන්දියාවේ විද්වත් පිරිසක්ද ඊට සහභාගි වූ අතර එහි ප්‍රධාන දේශනය යාපනය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ මහාචාර්ය ටී. සනතානන් මහතා විසින් පවත්වන ලදී.

2013 වසරේ සිට දමිළ අධ්‍යයන අංශය විවිධ තේමා යටතේ පර්යේෂණ සම්මේලන සංවිධානය කරමින් සම්මේලන වාර්තා සහ විශේෂ සඟරා ප්‍රකාශයට පත් කර ඇති අතර, එමගින් දමිළ ශාස්ත්‍රීය අධ්‍යයන ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත.

සම්මේලනයේ දෙවන දිනය මාර්ගගතව පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකාව, ඉන්දියාව, එක්සත් ජනපදය සහ දකුණු අප්‍රිකාව නියෝජනය කරන පර්යේෂකයන් එහිදී සිය පර්යේෂණ ඉදිරිපත් කරනු ඇත. එදින සැසිවාර පහක් යටතේ පර්යේෂණ පත්‍රිකා 31ක් ඉදිරිපත් කිරීමට ද සැලසුම් කර තිබේ.

නදීක දයා බණ්ඩාර – මහනුවර සිට .