ලෝකෙ දියුණු රටවල්වල භාවිතා කරන නවීනතම පිළිකා විකිරණ තාක්ෂණික ප්‍රතිකර්ම උපකරණ මිලදී ගැනීමේ ප්‍රසම්පාදන යාන්ත්‍රණය මෙරට තුළ පසුගිය කාලසීමාවේදී දිගින් දිගටම ප්‍රමාද වීම නිසා මෙරට රෝගීන්ට ගුණාත්මකභාවයෙන් ඉහළ පිළිකා වෛද්‍ය ප්‍රතිකර්ම ලබා ගැනීමේ අවස්ථාව සීමා වී ඇති බවත්, මීට වසර තුනකට පමණ පෙර මිලදී ගැනීමට තිබූ එම උපකරණ දැන් මිලදී ගැනීම නිසා අති විශාල ආර්ථික අලාභයක්ද රටට සිදුව ඇති බවත් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කරයි.
හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්කැල්ල පාලන කාලයේදී මෙරටට ගෙන්වීම සඳහා මෙම ව්‍යාපෘතිය ආරම්භ වුවද එවකට පැවැති දේශපාලන සහ අමාත්‍යාංශ නිලධාරීන්ගේ අක්‍රමිකතා සහ ප්‍රශ්න සහගත ගනුදෙනු මත මෙම මිලදී ගැනීම දැඩි ලෙස ප්‍රමාද වූ බව ඔහු පවසයි . නවීණ විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර වෙනුවට යල් පැනගිය යන්ත්‍ර මිලදී ගැනීමට ඔවුන් දරන ලද උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස අද වන විට එම උපකරණ මිලදී ගැනීම සඳහා මීට වසර තුනකට පමණ පෙරමින් කිහිප ගුණයක මුදල් ගෙවීමට සිදුවීමෙන් රජයට දැඩි ආර්ථික අලාභයක් සිදුව ඇති බවද වෛද්‍යවරයා පෙන්වා දෙයි.
දැනට ශ්‍රී ලංකාව තුළ බහුල වශයෙන් භාවිතා කරන කොබොල්ට් පිළිකා විකිරණ ප්‍රතිකර්ම ක්‍රමය සංකූලතා වලින් බහුල වන අතර ලෝකයේ බොහෝ රටවල් එම ක්‍රමය භාවිතාවෙන් ඉවත්කොට ඇති බවද වෛද්‍ය චමල් සංජීව පෙන්වා දෙයි .
ඒ වෙනුවට ලීනීයර් ඇක්සරේටර් ක්‍රමය හඳුන්වාදීමට ලෝකය දියුණු රටවල් කටයුතු කර ඇති අතර දැනට මෙරට රජය රෝහල් පද්ධතිය තුළ මෙම නවීනතම පිළිකා විකිරණ ප්‍රතිකර්ම යන්ත්‍ර සීමා සහිත ප්‍රමාණයක් පවතින අතර මෙම ප්‍රමාණය දෙගුණයකට වඩා වැඩි කොට රෝගීන්ට අවශ්‍ය කරන පහසුකම් කඩිනමින් ලබාදී පිළිකා විකිරණ ප්‍රතිකර්ම ලබාගැනීමේ පෝලිම් කඩිනමින් අවසන් කළ යුතු බවද ඔහු පෙන්වා දෙයි.
භාණ්ඩාගාරයේ මුදල් ප්‍රතිපාදන හා අසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිපාදන මත මෙම උපකරණ මිලදී ගැනීමට යෝජිතව පවතින අතර මෙම උපකරණ කරුණමින් ප්‍රසම්පාදනය කොට ගෙන්වා ගැනීමට පවතින බාධා ඉවත් කිරීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය යුතු බවද ඔහු පවසයි.
ශ්‍රි ලංකාවේ දැනට වාර්ෂිකව පිළිකා ආශ්‍රිත රෝගී මරණ පහළොස් දහසකට අධික ප්‍රමාණයක් සිදුවෙයි. එසේම ළමා පිළිකා රෝගීන් දහසකට ආසන්න ප්‍රමාණයක් වාර්ෂිකව අලුතින් හඳුනාගන්නා බවද වාර්තා වෙයි. වාර්ෂිකව සිදුවන ළමා පිළිකා රෝග මරණ සංඛ්‍යාව 200කට අධික වේ.