ඩඩ්ලිගේ පැටිකිරිය එළියට දාන්න අසේල සම්පත් සැරසේ .

ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනගේ ව්‍යාපාරික ඉතිහාසය සහ ඔහු ලබාගත් වරප්‍රසාද පිළිබඳ සියලු තොරතුරු ඉදිරියේදී රටට හෙළි කරන බව ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් පැවසීය .

ව්‍යවසායක ඩඩ්ලි සිරිසේන විසින් මෑතකදී දේශපාලඥයන් සහ මාධ්‍ය විවේචනය කරමින් සිදුකළ ප්‍රකාශයන්ට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියාපැවසීය .

තොරතුරු දැනගැනීමේ පනත භාවිතා කරමින්, මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලන කාලය දක්වා ඩඩ්ලි සිරිසේන මහතා රාජ්‍ය බැංකුවලින් ලබාගත් සහනදායී ණය ප්‍රමාණයන් හෙළි කිරීමට තමන් සූදානම් බව අසේල සම්පත් මහතා එහිදී පැවසුවා.

“අද රෝල්ස් රොයිස් ගන්න තත්ත්වයට පත්වෙන්න එයාට රජයේ බැංකුවලින් කොච්චර සහන ණය දුන්නද තමන්ගේ ව්‍යාපාර නඟාසිටුවන්න අතහිත දීපු දේශපාලඥයෝ දැන් එයාට කාලකන්නි වෙලා. නිකන් බොරුවට නැග්ග ඉණිමඟට පයින් ගහන්න එපා,” යනුවෙන් ඔහු එහිදී වැඩිදුරටත් අවධාරණය කළා.

පසුගියදා පැවැති උත්සව සභාවක් අමතමින් ඩඩ්ලි සිරිසේන ප්‍රකාශ කර තිබුණේ, වී මිල සම්බන්ධයෙන් පවතින ගැටලුව පිළිබඳව නිසි අවබෝධයකින් තොරව කටයුතු කරන ඇතැම් දේශපාලනඥයන් සහ මාධ්‍ය ආයතන, මෙය නිරන්තරයෙන් කතාබහට ලක්වන විෂයක් බවට පත්කරගෙන ඇති බවත් මොවුන් පදනම් විරහිත තර්ක ඉදිරිපත් කරමින් සෑම මාස හයකට වරක්ම මෙම මාතෘකාව කරළියට ගෙන එන බවයි.

එමෙන්ම වසර 78ක කාලයක් තිස්සේ මෙම තත්ත්වය අඛණ්ඩව සිදුවෙමින් පවතින බව පැවසූ ඩඩ්ලි සිරිසේන මහතා, අස්වනු නෙළන කාලයට වී මිල පිළිබඳ කතා කරන කිසිවකුත් එහි සැබෑ තත්ත්වය පිළිබඳව නිසි දැනුමකින් පසුවන්නේ නැති බව කියා සිටියා.