තත්ත්වයෙන් බාල ගල් අඟුරු ඉස්සරත් ගෙනාවා.

ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ගෙන්වීම හේතුවෙන් රජයට පාඩුවක් සිදුව ඇති බවට එල්ල වන චෝදනා කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රතික්ෂේප කරයි .

ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු සම්බන්ධයෙන් දඩ මුදල් අයකිරීමේ ස්ථාපිත ක්‍රමවේදයක් පවතින බවත් එම ක්‍රියාවලිය දැනටමත් ක්‍රියාත්මක වන බවත් පෙන්වාදුන් ඔහු මෑතකදී ආනයනය කරන ලද ගල්අඟුරු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක එල්ල කළ චෝදනා ප්‍රතික්ෂේප කළේය.

ගල්අඟුරු සමාගමෙන් අය කර ගන්නා වන්දි මුදලට වඩා වැඩි පාඩුවක් රජයට සිදුව ඇති බවත්, මේ හේතුවෙන් දිනකට ගිගාවොට් පැය 2.6 ක විදුලි ප්‍රමාණයක් අහිමි වන බවටත් හිටපු අමාත්‍ය පාඨළී රණවක චෝදනා කර තිබුණි.

මෑතකදී ආනයනය කළ ගල්අඟුරු පළමු තොගය (මෙට්‍රික් ටොන් 60,000)කිලෝ කැලරි ප්‍රමාණය 5520ක් වූ බැවින් දෙගුණයක දඩයක් අය කිරීමට පියවර ගෙන ඇති බවත් දෙවන තොගය කිලෝ කැලරි ප්‍රමාණය 6017ක් වූ අතර එය අදාළ පරාසය තුළ පවතින බැවින් භාරගෙන ඇති බවත් තෙවන සහ සිව්වන තොග සාම්පල පරීක්ෂණ සඳහා යවා ඇති අතර ඒවායේ වාර්තා මත පදනම්ව තීරණ ගනු ලබන බවත් අමාත්‍යවරයා පැවසීය .

මෙය අලුත් තත්ත්වයක් නොවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මීට පෙර වසරවලදීද ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු වෙනුවෙන් විශාල වශයෙන් දඩ මුදල් අය කර ඇති බව පෙන්වා දුන්නේය.

ගල්අඟුරු ප්‍රමිතිය පරීක්ෂා කිරීමේදී අනුගමනය කරන ක්‍රමවේදය පිළිබඳව අමාත්‍යවරයා මෙසේ පැහැදිලි කළේය.

”සාමාන්‍යයෙන් සම්මත ප්‍රමිතිය කිලෝ කැලරි 6150 කට වඩා වැඩි විය යුතුයි. ගල්අඟුරු පටවන වරායේදී සිදුකරන පරීක්ෂණ වාර්තාව එම ප්‍රමිතියට වඩා අඩු නම් එම ගල්අඟුරු කිසිසේත්ම භාර ගන්නේ නෑ .

ලංකාවට ගොඩබෑ පසු සිදුකරන පරීක්ෂණවලදී ප්‍රමිතිය කිලෝ කැලරි 5900ට වඩා අඩු නම් දඩය දෙගුණයක් අයකරනවා . කිලෝ කැලරි 5900ත් 6150ත් අතර නම් එක් වතාවක දඩයක් අයකරනවා . කිලෝ කැලරි 6150ට වඩා වැඩි නම් එය ප්‍රමිතියට අනුකූල සේ සලකා භාර ගන්නාවා ” අමාත්‍යවරයා පැවසීය .