මිහින්තලේ නාහිමිට ලාල් කාන්තගෙන් දොස්

මිහින්තලය රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි අධ්‍යාපනය සම්බන්ධයෙන් ‘කුණුහරප’ අදහස් ප්‍රකාශ කරන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසනවා.

ඊයේ (10) දින පැවැත්වූ ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලීය ආදි ශිෂ්‍ය මහා සංගමයේ (SAPSA) වාර්ෂික සම්මේලනය අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

ඔහු එහිදී කියා සිටියේ,

“ප්‍රතිසංස්කරණ දිගටම සිද්ධ වුණා. අපේ රට දැන් තියෙන්නේ පරිවර්තනීය යුගයේ. කෘෂිකර්මාන්තය අපි ඇවිල්ලා ඇවිල්ලා දැන් ඉන්නෙ පරිවර්තනීය තැනක. අධ්‍යාපනයත් අපි ඇවිල්ලා ඇවිල්ල දැන් ඉන්නෙ පරිවර්තනීය තැනක. දේශපාලනය ගත්තමත් අපි ඉන්නේ පරිවර්තනීය තැනක. මං හිතන්නේ අධ්‍යාපනයටත් වඩා මාතෘකාව අගමැතිනිය් ගැන. අගමැතිනිය මෙහෙමයි, එතුමිය අරමයි වගේ ඒවා. වැඩිපුරම කතා කරන්නේ මං හිතන්නේ ආගමික නායකයොද කොහෙදෝ.

ඒගොල්ලෝ ඔක්කොම දන්නවා අගමැතිනිය ගැන. හැසිරීම්, චර්යා රටාවන්, කැමති දේවල්, අකමැති දේවල් හැබැයි අධ්‍යාපනයේ විදිය තත්ත්වය සමාජයෙන් තේරුම් ගන්න පුළුවන් කියලා කියමනක් තියෙනවා. අපේ අධ්‍යාපන පරිවර්තනය ගැන ප්‍රතිසංස්කරණ නමින් හරි කතා කරන, විරෝධතා දක්වන, අගමැතිනිය ගැන කතා කරන ඒ අය දිහා බැලුවමත් ඒ අයගේ අධ්‍යාපන මට්ටම හොඳට පේනවා. විශේෂයෙන් අර මිහින්තලයේ ඉන්න ‘වනචාරියා’ තනිකර කතා කරන්නේ කුණුහරප.”

මෙරට විධායක ජනාධිපතිවරයෙකුගේ පාලනය යටතේ මෙතරම් කතාබහට ලක්වුණු අගමැතිවරයෙක් මින් පෙර බිහිවී නොමැති බවත්, කාන්තාවක් පිළිබඳ කුහකත්වයක් සහ ලිංගික කුහකත්වයක් තිබෙන පිරිස් මෙවැනි දේවල් ප්‍රකාශ කරන බවත් ඔහු චෝදනා කළේය.