ආරක්ෂාව ගැන ගැටළුව විසඳුවා . ශ්‍රී ලංකා පිල ආපසු එන්නේ නෑ

පාකිස්තාන හමුදා මාණ්ඩලික ප්‍රධානී ෆීල්ඩ් මාර්ෂල් අසීම් ​​මුනීර් ශ්‍රී ලංකා බලධාරීන් සමග සාකච්ඡා කළ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස පාකිස්තානයේ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දැනට පැවැත්වෙන තරඟ සඳහා තවදුරටත් පාකිස්තානයේ රැඳීසිටීමට තීරණය කළ බවත් පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්වි ඊයේ එරට පාර්ලිමේන්තුව හමුවේ පැවසූ බව වාර්තා වේ .

ඉකුත් අඟහරුවාදා ඉස්ලාමාබාද්හි අධිකරණයක් අසල සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු ශ්‍රි ලංකා කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයන් නැවත සිය රට බලා යාමට සූදානම්වන බවට වාර්තා වු අතර අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් බළධාරීන් සිය කණ්ඩායම සමග සාකච්චා කරනා ලදි . එහිදී ඇතිවූ එකඟතාවය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලය ඊයේ රාත්‍රියේ ප්‍රකාශ කළේ තම කණ්ඩායමේ පාකිස්තාන සංචාරය ඉදිරියට ගෙන යාමට තීරණය කළ බවයි.

මෙම අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එරට පාර්ලිමේන්තුවේ සෙනට් සභාව හමුවේ අමාත්‍ය මොහ්සින් නක්වි පවසා ඇත්තේ, හමුදාපතිවරයා ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යවරයා සහ ආරක්ෂක ලේකම්වරයා අමතා ක්‍රිඩකයන්ට ආරක්ෂාව ලබාදෙන බවට සහතික වූ බවයි.

ඉස්ලාමාබාද් හි සිදුවූ බෝම්බ පිපිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ආපසු යාමට තීරණය කළද දැන් එම තත්ත්වය සමතයකට පත්ව් ඇති බව ඔහු එහිදී පවසා තිබේ.

“ඔවුන්ට බොහෝ ගැටළු තිබුණා, නමුත් අපි ඒ සියල්ල සමනය කිරීමට උත්සාහ කළා . ජනාධිපති අනුර කුමාර දිසානායක තම රටේ ක්‍රිකට් කණ්ඩායම සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර තිබෙනවා ” අමාත්‍ය නක්වී වැඩිදුරටත් පැවසූ බව එරට මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම ඔහු පවසා ඇත්තේ පකිස්ථාන හමුදාව, ඉස්ලාමාබාද් පොලිසිය සමග එක්ව ශ්‍රී ලංකා කණ්ඩායමට ආරක්ෂාව ලබාදෙන අතර ඔවුන්ට රජයේ අමුත්තන් ලෙසම සලකා ආරක්ෂාව ලබාදෙන බවයි.