අයහපත් කාලගුණයෙන් තිදෙනෙක් මරුට

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයත් සමග සිදුවු ආපදා හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

පේරාදෙණිය, රුවන්වැල්ල සහ තඹුත්තේගම යන ප්‍රදේශවලින් මෙම සිද්ධීන් වාර්තා විය.

අනුරාධපුර තඹුතේගම ප්‍රදේශයට බලපෑ වර්ෂාපතනයත් සමඟ ඇතිවු ක්ෂණික ගංවතුරට හසුවීමෙන් ඊයේ (19) දිනයේ එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණි.

මේ අතර පේරාදෙණිය ප්‍රදේශයේදී පස් කන්දකට යටවීමෙන් 72හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ.

අදාළ පුද්ගලයා ඇළ මාර්ගයක් අසලින් ගමන් කරමින් සිටියදී ඒ අසල තිබු පස් කන්දක් ඔහු මතට කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

මේ අතර රුවන්වැල්ල, මාගම්මන ප්‍රදේශයේදී අධික වර්ෂාපතනය පවතින අවස්ථාවක ඇළ මාර්ගයක් හරහා ඒදණ්ඩකින් ගමන් කිරීමට උත්සහ කළ පුද්ගයෙකු එම ඇළට වැටී දියේ ගිලි මියගොස් ඇත. මියගොස් ඇත්තේ 54 හැවිරිදි පුද්ගලයෙකි.

මේ අතර අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ දිස්ත්‍රික්ක 03ක පවුල් 144 කට අයත් පුද්ගලයින් 600කට ආසන්න පිරිසක් මේ වන විට පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

අයහපත් කාලගුණයෙන් සිදුවු අනතුරු වලින් නිවාස 101කට අර්ධ හානි සිදුව ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

මේ අතර අධික වර්ෂාව හේතුවෙන් දැදුරු ඔයේ ජල මට්ටම මොරගස්වැව ප්‍රදේශයෙන් තවදුරටත් ඉහළ යමින් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් දැදුරු ඔය ද්‍රෝනියේ පිහිටි වාරියපොල, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, රස්නායකපුර සහ ආරච්චිකට්ටුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පහත් බිම් සඳහා නිකුත් කළ ගංවතුර අවදානම් නිවේදනය තවදුරටත් වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 09ක හඳනාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර සහ යටිනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, මාවනැල්ල, කෑගල්ල, දෙහිඕවිට සහ යටියන්තොට යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ සඳහා අදියර 02 මට්ටමේ, එනම් අවධානයෙන් පසුවීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

මීට අමතරව බදුල්ල, කොළඹ, ගාල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 35ක් සඳහා අදියර 01 මට්ටමේ, එනම් විමසිලිමත්වීමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.