හිටපු ඇමති ප්‍රසන්නගේ නඩුව ජනවාරියට කල් යයි .

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට රුපියල් 4,750,828.72 ක පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ගොනුකර ඇති නඩුව ලබන ජනවාරි මස 26 වනදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (20) නියෝග කළේය .

ප්‍රසන්න රණතුංග සංචාරක හා ගුවන්සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේ එම අමාත්‍යාංශය යටතේ පැවැති ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන හතරක සේවකයන් සඳහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් වෛද්‍ය රක්ෂණාවරණ ලබාගැනීමේදී, පෞද්ගලික තැරැව්කාර සමාගමකට අයුතු වාසියක් අත්කර දුන් බව මෙම නඩුවෙන් චෝදනාකර ඇත . එමගින් රජයේ ආයතනයකට අතිවිශාල මූල්‍යමය පාඩුවක් සිදුකර ඇති බවට අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කරුණු දක්වා තිබේ.

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම මගින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම කල්තැබීමේ නියෝගය නිකුත් කර තිබේ.