සුරේෂ් සලේ නැවතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන යයි.

හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ඊයේ පස්වරුවේ කොළඹ ජාතික රෝහලේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි .

ඔහු යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගැනීම අද පස්වරුවේ සිදුකරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්ද ඊයේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දි ඇත .

ඒ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය විමසීම සඳහා ජාතික රෝහලේ අධ්‍යාක්ෂවරය ඇතුළු වෛද්‍යවරු දස දෙනෙක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදීය .

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයේ රඳවා සිටියදී සෞඛ්‍ය තත්ත්වය පිරිහීමෙන් සුරේෂ් සලේ 2026 ජූනි 7 වැනිදා රාත්‍රියේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලද අතර අනතුරුව ඔහු ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට මාරු කරන ලදි . එහිදී හෘද ක්‍රියාකාරීත්වය පාලනය කිරීම සඳහා ඔහුට උපකරණයක් සවිකර ඇත .

සුරේෂ් සලේ රෝහලෙන් නිදහස් කිරීමේදී ඔහුට නිර්දේශිත ඖෂධ නියමිත වේලාවට ලබාදීම, සුදුසු පරිසරයක තැබීම, වෛද්‍ය අධීක්ෂණයට සහ සායනවලට යොමු කිරීම, ආසාත්මිකතා ඇතිවුවහොත් ප්‍රතිකාර ලබාදීම සහ හෘදයට සවි කර ඇති යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වයේ ගැටලුවක් ඇතිවුවහොත් හෘද ඒකකයට යොමු කිරීම ඇතුළු කරුණු හයක් නිර්දේශ කර ඇතැයිද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ පැවසීය .