රාජපක්ෂවරුන් වෙනුවෙන් අරගලකරුවන් ගෙන් ගුටි කෑ මහින්ද කහඳගම පොහොට්ටුවේ නෙමෙයිලු .

මහින්ද කහඳගම කිසිදිනෙක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙකු වී නොමැති බැවින්, ඔහුට එරෙහිව කිසිදු විනය පියවරක් ගැනීමට නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කරයි.

කහඳගමට එරෙහිව පක්ෂය විසින් කිසියම් පියවරක් ගැනීමට බලාපොරොත්තු වන්නේදැයි ජනමාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමින් එම පක්ෂයේ නියෝජිතයෙකු සඳහන් කර ඇත්තේ, ඔහුගේ දේශපාලන අනුබද්ධතාවය සම්බන්ධයෙන් යම් පටලැවිල්ලක් ඇති වී තිබෙන බවයි.

වාසුදේව නානායක්කාරගේ පක්ෂය සමග පොදුජන පෙරමුණ සන්ධන ගතව සිටි බැවින් එම පක්ෂයට ලද කෝටාව යටතේ ඔහු ‘පොහොට්ටුව’ ලකුණ යටතේ මැතිවරණයට තරග කළ නමුත්, සෘජුවම තම පක්ෂ සාමාජිකයෙක් නොවනා කෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත නොහැකිබව එම ප්‍රකාශකයා පැවසීය. වාසුදේව නානායක්කාර ද නව සමසමාජ පක්ෂයේ සාමාජිකයෙකු මිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙකු නොවන බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි .