වැසි ඇදවැටීමත් සමග දිස්ත්‍රික් හතරකට නායයාමේ අනතුරු ඇඟවීම් .

වැසි සහිත කාලගුණ තත්ත්වයක් ආරම්භ වීමත් සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක හතරක් සඳහා බලපැවැත්වෙන පරිදි නාය යාම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ඊයේ (02) රාත්‍රී 11:00ට නිකුත් කර ඇති එම නිවේදනය අද (03) රාත්‍රී 11:00 දක්වා වලංගු වේ.

නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත්කර ඇති ප්‍රදේශ පහත දැක්වෙයි .

මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළේ සහ ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මෙන්ම ඒ අවට ප්‍රදේශ සඳහා අදියර 2 යටතේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ඇතුළු ඒ අවට ප්‍රදේශ සඳහා ද අදියර 2 යටතේ විමසිලිමත්ව සිටින ලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

මීට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක සහ දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 1 යටතේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය, තලවකැලේ, කොත්මලේ නැගෙනහිර සහ කොත්මලේ බටහිර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල සහ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශ සඳහා ද අදියර 1 යටතේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.