ආරක්ෂිත බදු ස්ටිකර් ව්‍යාජ ලෙස අලවා තිබූ මත්පැන් බෝතල් 5,575ක් මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී සොයාගෙන තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මුලතිව් පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව පසුගිය 14 වැනිදා සිදුකළ ඒකාබද්ධ වැටලීමකදී මෙම මත්පැන් බෝතල් තොගය සොයාගෙන් ඇත.
නැගෙනහිර නාවික විධානයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ක්‍රියාත්මක කළ මෙහෙයුමේදී, වයස අවුරුදු 43ක් වන මුලතිව් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ව්‍යාජ මත්පැන් බෝතල් 5,575ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබුණි.
අත් අඩංගුවට ගත් එම ව්‍යාජ මත්පැන් බෝතල්වල රජයේ ආරක්ෂිත බදු ස්ටිකර් අලවා තිබී ඇත . ඒ අනුව එම ස්ටිකර් නීත්‍යානුකූලව නිකුත් කළ ඒවාද, නැතහොත් නීතිවිරෝධී ලෙස ලබාගත් ඒවාද යන්න පිළිබඳ මේ වනවිටත් පරික්ෂණ ආරම්භකර ඇත .
මෙම සිද්ධියට පෙර පසුගිය ජුනි 28 වැනිදා මාළඹේ ප්‍රදේශයේදී අනාවරණය වූ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය සම්බන්ධ විමර්ශනවලදීද, මත්පැන් බෝතල් සඳහා භාවිත කරන ආරක්ෂිත බදු ස්ටිකර් ඉන්දියාවේ චෙන්නායි ප්‍රදේශයේ මුද්‍රණය කර මෙරට නියෝජිතයෙකු වෙත ලැබී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි වාර්තා වේ.