රැඳවූවන්ගේ ඉල්ලීම් ලබා දෙයි. මීගමුව බන්ධනාගාරය සන්සුන් .

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම මැඩපවත්වා ඇතිබව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක පැවසීය. මෙම ගැ‍ටුවෙන් රැඳවියන් 36 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර, ඉන් දෙදෙනෙකු මරණට පත්ව ඇති බව ඔහු වැඩි දුරටත් පැවසීය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා බන්ධනාගාර කොමසාරිස් වරයා විශේෂ විමර්ශන කණ්ඩායමක් පත් කර ඇති බවත්, රැඳවියන් සහ රැඳවූවන්ගේ ඇතැම් ඉල්ලීම්ද ලබාදීමට නියමිත බවත් ඔහු සඳහන් කළේය .

“අද දිනය වනවිට මීගමුව බන්ධනාගාරය තුළ රැඳවියන් 2,417 දෙනෙකු රඳවා සිටිනවා. බන්ධනාගාර නිලධාරීන් මැදිහත් වී එහි ඇතුළත තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම සමථයකට පත් කර තිබෙනවා. තත්ත්වය පාලනය කර ගැනිම සඳහා බන්ධනාගාර රැඳවූවන්ගේද සහාය ලැබුණා. මීට අමතරව, බන්ධනාගාරයෙන් පිටත ආරක්ෂාව තර කිරීම සඳහා පොලිසිය, විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව ද සම්බන්ධ වුණා . ” බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.