බස්නාහිර රෝහල් ඩෙංගු රෝගීන්ගෙන් පිරී යයි .

බස්නාහිර පළාතේ පවතින රෝහල් රැසක ඩෙංගු රෝගීන්ගේ උපරිම ධාරිතාවයට පැමිණ ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර පවසයි. ඩෙංගු රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනය හේතුවෙන් ඔවුන් රැක බලා ගැනීමේ කටයුතු ද දැඩි අසීරුතාවයකට හා අවදානමකට ලක්ව ඇති බව ඔහු වැඩි දුරටත් පැවසීය .

රෝගීන් වාර්තා වීම මෙලෙස ඉහළ යාම හේතුවෙන් ඊට සමානුපාතිකව ඉදිරියේදී මරණ සංඛ්‍යාව ද ඉහළ යාමේ අවධානමක් පවතින බව ඔහු පෙන්වාදෙයි.

වෛද්‍ය කපිල කන්නංගර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ දැනට දිවයිනෙන් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් 59,638 දෙනාගෙන් 52.4%ක්ම වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන බවය.

මේ හේතුවෙන් බස්නාහිර පළාත තුළ වැඩිම රෝගී ප්‍රතිශතයක් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 22 ක් තෝරාගෙන එම ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් සතියක් පුරා ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

එම සතිය අවසානයේදී එහි ප්‍රගතිය සමාලෝචනය බවත් ඒ අනුව මෙම වැඩසටහන ඉදිරියට ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.