මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුව අද (ජූලි 09) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබීය .
එහිදී සාක්ෂි ලබාදුන් යසාරා අබේනායක, මෙම නඩුවට පාදක වී ඇති දෙහිවල මිහිඳු මාවතේ පිහිටි නිවසට තමා ගොස් ඇති බව අධිකරණය හමුවේ පිළිගත්තාය . වැඩි දුරටත් සාක්ෂි දුන් ඇය පවසා සිටියේ තමන් සහ යෝෂිත රාජපක්ෂ විවාහ වී එම නිවසේ පදිංචි වීමට සැලසුම් කර තිබූ බවත්, එම නිවස යෝෂිත රාජපක්ෂ විසින් ඉදිකරන ලද්දක් බව තමා දන්නා බවත් ය .
නිවස ඉදිකරන සමයේ යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවේ සේවය කළ බවද ඇය පැවසූවාය.
විත්තිකාර යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා යොමුකළ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇය වැඩිදුරටත් කියා සිටියේ, අදාළ නිවස කාමර විශාල සංඛ්‍යාවකින් සමන්විත වූ ඉතා විශාල මන්දිරයක් බවයි.
ඉඩම් හිමියෙකු වන ලූෂන් රත්නායක නැමැත්තාද මෙහිදී සාක්ෂි දුන් අතර රත්මලාන කෙකටිය පාරේ පිහිටි පර්චස් 31ක පමණ සිය ඉඩම විකිණීම සඳහා තමන් සිය හිතවතෙකු වන වසන්ත කුමාර ජයසූරිය වෙත පැවරූ බවය . පසු අවස්ථාවක ඔහු විසින් කැඳවාගෙන ආ අයෙකුට රූපියල් මිලියන 34.5කට අදාළ ඉඩම විකිණූ බවත්, ඊට අදාල ඔප්පුවට රාජගිරියේ පිහිටි ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේදී අත්සන් කළ බවත් ඔහු සඳහන් කළේය .
තම බැංකු ගිණුමට මුදල් තැන්පත් කිරීමෙන් පසු ඔප්පුවට අත්සන් තැබූ බවත්, එම මුදල් තැන්පත් කළේ කවුදැයි තමන් නොදන්නා මුත් ඔප්පුවේ ගැනුම්කරු ලෙස ‘ඩේසි ෆොරස්ට්’ නැමැති කාන්තාවකගේ නම සඳහන්ව තිබූ බවද ඔහු පැවසීය .