මීගමුව බන්ධනාගාරයේ ගැටුම ගැන පරීක්ෂණ CID යට බාරදෙයි

පුද්ගලයන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්කරමින්, රුපියල් කෝටි 12කට අධික දේපළ හානියක් සිදුකරමින් මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ගැටුම සම්බන්ධයෙන් මීගමුව මූලස්ථාන පොලිසිය සිදුකරන සියලු විමර්ශන වහාම ක්‍රියාත්මක වන පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අද (09) නියෝග කළාය .

මීගමුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වෙත මෙම නියෝගය නිකුත් කෙරුණේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකරගේ උපදෙස් මත එම දෙපාර්තමේන්තුව විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි .

වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් දැනට මීගමුව පොලිසිය පවත්වන විමර්ශන මින් ඉදිරියට තමන් වෙත පවරා ගන්නා ලෙස පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය නියෝග කර ඇති බවයි. ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 125 වගන්තිය ප්‍රකාරව, අධිකරණ නියෝගයක් මත මෙම විමර්ශන CIDය යටතට පවරා ගැනීමට අවශ්‍ය බැවින් අදාළ නියෝගය සහ අවසරය ලබාදෙන ලෙස ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටිනා ලදි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය, සිද්ධියට අදාළ සියලුම විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවරීමට නියෝග කළාය.