මෙන්ඩිස් සමාගම විසින් ගෙවා නැති බව පැවසෙන රුපියල් මිලියන 5800 ක වැට් බදු මුදල නිදහසට කරුණු ඉදිරිපත් කිරීමකින් තොරව වහා ගෙවන මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂවරුන්ට ඊයේ නියෝග කළේය.
මෙම නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි විත්තිකරු වශයෙන් නම් කර සිටින අදාළ සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් අධිකරණය හමුවේ පෙනීසිටියේය.
එහිදී විත්තිකාර සමාගමේ අධ්‍යක්ෂකවරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් හිඟ වී ඇති බදු මුදල්වලින් කොටසක් මේ වනවිට ගෙවා ඇතත්, දේපොළ බැංකුවට සින්න වීම නිසා අදාල ලේඛන සොයාගත නොහැකිව ඇති බවයි
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් විත්තිකාර සමාගම විසින් බදු මුදල් ගෙවිය යුතු කාලය ඉක්මවා ගොස් ඇති බව පෙන්වාදෙනු ලැබීය.
ඒ අනුව අදාළ බදු මුදල් වහාම ගෙවා අවසන් කරන ලෙස විත්තිකරුවන්ට නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා බදු මුදල් නැවතත් ප්‍රමාදයකින් තොරව ගෙවන්නේද නැද්ද යන්න පිළිබඳව ඉදිරි නඩු දිනයේ ස්ථිර ලෙස කරුණු දක්වන ලෙසද නියම කළේය.