මධ්‍ය කඳුකර ආරක්ෂාව ගැන ජනාධිපති කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව .

මධ්‍ය කඳුකර ආරක්ෂණ අධිකාරි පනත මෙම වසර අවසානයේ හෝ ලබන වසර මුලදී පාර්ලිමේන්තුවේ සම්මත කර, එම පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමේ සියලු බලතල එම අධිකාරියට ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.

2023 වසරේ බණ්ඩාරවෙල පූනාගල කබරගල කන්ද නාය යාමෙන් නිවාස අහිමි වූ පවුල් සඳහා ඉදිරිකළ ‘නවෝද්‍යා පුරම්’ නිවාස යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර සහිතව මධ්‍ය කඳුකර ආරක්ෂණ අධිකාරිය පිහිටුවන්න කටයුතු කරන බවද පැවසීය.

කෙසේ නමුත් මධ්‍ය කඳුකරය පැවති තත්ත්වයට පත්වෙන්න දශක ගණනාවක් ගතවිය හැකි වුවත්, සිදුවන විනාශයන් නතර කිරීම සඳහා කෙසේ හෝ පියවර ගතයුතු බවත් සඳහන් කළේය. මධ්‍යම කඳුකරය ශ්‍රී ලංකාවේ හඳවත බවත් පැවසූ ජනාධිපතිවරයා, එය ඇස් ඉදිරිපිට විනාශ වෙමින් තිබෙන පැවසීය. කඳු කඩා වැටීම්, උල්පත් සිඳීම්, ගංගා ඇළවේලී ගොඩවීම් දැක තිබෙන බවත් පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙලෙස පැවසීය

“අපේ රටේ අනාගතයේ වැදගත් කොටසක් ඔසවන්නේ මධ්‍ය කඳුකරය. අපේ වගකීම අපේ අනාගතයට මධ්‍ය පරිසරය සුරක්ෂිත කිරීම.

මේ වැඩපිළිවෙළේදී නිවාස අහිමි වෙන්න පුළුවන්. වගාබිම් තිබෙන ප්‍රදේශ වනාන්තර වෙන්න පුළුවන්. නමුත් ඒක කරන්න ඕන. නැතුවුණොත් විශාල ව්‍යසනයකට මුහුණදෙනවා. ආයතනවල බලතල බෙදෙයි, පුටු එහෙට මෙහෙට වෙයි, තනතුරු නාම වෙනස්වෙයි….කවුරුවත් කලබල වෙන්න එපා”.

මේ අතර මලෛයගම් ජනතාව අපේම සහෝදර ජනතාවක් ලෙස මෙරට තුළ වාසය කිරීමට පූර්ණ අයිතිය සහ ජිවිතය ලබාදෙන්න කටයුතු කරන බවත්, එහි පියවරක් ලෙස වතු සමාගම්වල ගිවිසුම් 2042 දී අවසන් වූ පසු නැවත අලුත් කිරීමේදී එම ජනතාවගේ අයිතාවාසිකම් සුරක්ෂිත වන ලෙස ගිවිසුම් අත්සන් කිරීමට කටයුතු කරන බවද පැවසීය.