පෝලිම් ඉවරයි. පාස්පෝර්ට් එක ගෙදරටම.

විදේශ ගමන් බලපත්‍ර අන්තර්ජාලය ඔස්සේ නිකුත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී අද (15) සිට ආරම්භ කිරීමට නියමිතය.
විධිමත් හා කාර්යක්ෂම ආකාරයෙන් මහජනතාවට විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකි වන ලෙස මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ අයදුම්පත් භාර ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මේ අතර මාර්ගගතව අයදුම්පත් ඉදිරිපත් කරන අයදුම්කරුවන්ට ඔවුන්ගේ ඇඟිලි සලකුණු, දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51කට අනුබද්ධ, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උප කාර්යාලවලට ලබාදීම සිදු කළ හැකි බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් ප්‍රකාශ කරයි.

එමෙන්ම නව වැඩපිළිවෙළ ආරම්භ කිරීමෙන් පසුව කිසිවකුට හෝ අවශ්‍ය නම් ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙතත් පැමිණ අයදුම්පත් භාර දී විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකියාව ඇති අතර, විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ එක්දින සේවාව ද සාමාන්‍ය පරිදි සිදු කරන බව ද ඇමැතිවරයා සඳහන් කරයි.

නව වැඩපිළිවෙළ යටතේ විදේශ ගමන් බලපත්‍රයක් අයදුම් කළ පසු අයදුම්කරුවන්ට දින තුනක් ඇතුළත විදේශ ගමන් බලපත්‍රය කුරියර් සේවාවකට ලබාදෙන බවත් ඉන් අනතුරුව විදේශ ගමන් බලපත්‍රය නිවෙසටම ගෙන්වාගත හැකි වේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51කදී ඇඟිලි සලකුණු ලබාදිය හැකි අතර සමන්තුරේ, පොතුවිල්, නුවරගම් පළාත මධ්‍යම, කැකිරාව, හොරොව්පොතාන, මහියංගණය, හපුතලේ, කෝරළෙයිපත්තු (වාලච්චේනයි), කාත්තන්කුඩි, සීතාවක, හෝමාගම, කරන්දෙණිය, අක්මීමන, නෙළුව, මීගමුව, මීරිගම, ගම්පහ, තංගල්ල, තිස්සමහාරාමය, චාවකච්චේරි, පේදුරුතුඩුව, ඉංගිරිය, මතුගම, පාණදුර, ගම්පොළ, කුණ්ඩසාලේ, පූජාපිටිය, ගලිගමුව, රුවන්වැල්ල, කරච්චි, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් ප්‍රාදේශීය කාර්යාලය, කුලියාපිටිය, නිකවැරටිය, මන්තායි බටහිර, නාවුල, අතුරලිය, දෙවිනුවර, බුත්තල, මුලතිව්, අඹගමුව, වලපනේ, ඇළහැර, දිඹුලාගල, හිඟුරක්ගොඩ, පුත්තලම, හලාවත, බළන්ගොඩ, කුරුවිට, ඇඹිලිපිටිය, කින්නියා සහ වෙංගලසෙට්ටිකුලම යන නගර වල මෙම සේවාව ක්‍රියාත්මක වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *