දෙවිනුවර පෙරහැරේ කාවඩි නැටුම් පොලිස්පති අණින් නවතියි .

ඓතිහාසික දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වැනි වාර්ෂික ඇසළ මහා පෙරහැරේ කාවඩි නර්තන අංගය මෙවර ඉවත් කරන ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මාතර දිසාලේකම් වෙත ලිඛිත නිර්දේශයක් ඉදිරිපත් කර ඇතිබව වාර්තා වෙයි .

ජාතික බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ ලබාදුන් බුද්ධි වාර්තා සැලකිල්ලට ගනිමින් මෙම නිර්දේශය සකස්කර ඇති අතර, ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරයා විසින් දෙවිනුවර බස්නායක නිලමේවරයාට කාවඩි නර්තන අංගය පෙරහැරෙන් ඉවත් කරන්නැයි ලිඛිතව දැනුම්දී ඇත.

කාවඩි කණ්ඩායම් සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ගැටුම්කාරී තත්ත්වයක් මතුව ඇති අතර, පෙරහැර දිනයේ මහජන ආරක්ෂාවට බරපතළ තර්ජනයක් ඇතිවිය හැකි බවට මේ වනවිටත් අනතුරු අඟවා ඇතිබව වාර්තා වේ.

දෙස් විදෙස් සංචාරකයින් ඇතුළු විශාල පිරිසක් පෙරහැර නැරඹීමට එක්වන බැවින් ආරක්ෂාව පිළිබඳව සළකා බලා මෙම නිර්දේශය පොලිස්පතිවරයා විසින් ලබාදී ඇතිබව පැවසේ.