දිළීප පීරිස්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් යුධ හමුදාවේ විරෝධය .

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සිදුකරමින් පවතින විමර්ශනවලට ඇතැම් හමුදා නිලධාරීන් බාධා පමුණුවන බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් විවෘත අධිකරණයේදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු සිය දැඩි අප්‍රසාදය පළ කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

හමුදා නීති අංශයේ නිලධාරියෙකු හරහා සිදු කළ දැනුම්දීමකට අනුව, අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සහ අදාළ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියා අතර දුරකථන සංවාදයක් පවත්වා ඇත. එම සාකච්චාවේදී හමුදාව විමර්ශනවලට සහාය දෙන බව එම නිලධාරියා ප්‍රකාශ කළද, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා එය ප්‍රතික්ෂේප කරමින් කරුණු දක්වා ඇත . අතිරේක සොලිසිටර් ජනරාල්වරයාගේ ප්‍රකාශ මඟින් යුද හමුදාව දැඩි අපහසුතාවයට පත්ව ඇති බවට එම නිලධාරියා චෝදනා කිරීමත් සමඟ එම සංවාදය උණුසුම් මුහුණුවරක් ගෙන ඇත .

මෙම සංවාදය අතරතුරදී, අතිරේක සොලිසිටර් ජනරාල්වරයා දිගින් දිගටම මෙවැනි ප්‍රකාශ සිදු කරන්නේ නම් ඒ පිළිබඳව ජනාධිපතිවරයාට පැමිණිලි කිරීමට සිදුවන බවට ද අදාළ හමුදා නිලධාරියා පවසා ඇති බව වාර්තා වේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන්ට නීතිමය සහාය ලබා ගැනීම සඳහා හමුදා බුද්ධි අංශ මඟින් ප්‍රතිපාදන ලබා දී ඇති බවට නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා එහිදී චෝදනා කර ඇතිබව වාර්තා වේ .