දැරියක් අපයෝජනය කිරීමේ චෝදනාවට අටමස්ථානාධිපති අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්

බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීමේ සිද්ධියට අදාළව, අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් සහ අදාළ දැරියගේ මව සැකකරුවන් ලෙස නම් කර වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය අද (08) නියෝග කළේය . එමෙන්ම උන්වහන්සේට විදෙස් ගමන් තහනමක් පැනවීමටද අධිකරණය නියෝග කළේය .

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අධිකරණය හමුවේ අද සිදුකළ කරුණු දැක්වීම් සහ ඉදිරිපත් කළ සාක්ෂි සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය .

වින්දිත බාල වයස්කාර දැරිය පසුගිය අප්‍රේල් 27 වනදා නිට්ටඹුව පොලිස් බල ප්‍රදේශයේ ලැගුම්හලක සිය පෙම්වතා සමඟ රැඳී සිටියදී පොලිස් අත්අඩංගුවට පත් විය . අනතුරුව ගම්පහ මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඇය ඉදිරිපත් කළ අතර එහිදී ඇය අවස්ථා ගණනාවකදී දූෂණයට ලක්ව ඇති බව තහවුරු විය .

එහිදී දැරිය හෙළි කර ඇත්තේ තමන්ව මුලින්ම දූෂණය කළේ අනුරාධපුර විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක බවත්, අනතුරුව සිය පෙම්වතා සහ ඥාති මස්සිනා අතින් දූෂණයට ලක්වූ බවත් ය. තම මව එම හිමිනමට තමා ලබාදී මුදල් ලබාගත් බවද අය එහිදී පවසා තිබුනි .

මෙම බාලවයස්කාර දැරිය අපයෝජනයට ලක්වීම සම්බන්ධයෙන් වූ තොරතුරු අනාවරණය වීමත් සමඟ සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වුණා.