ජනාධිපතිගේ කථාව ගැන නීතීඥ සංගමයේ කණස්සල්ල .

පසුගියදා පැවැති මැයි දින රැලියකදී ජනාධිපතිවරයා විසින් අධිකරණ තීන්දුවක් සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශය පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය දැඩි කනස්සල්ල පළ කරයි .

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසනුයේ 2026 මැයි 25 වන දින ලබා දීමට නියමිත අධිකරණ තීන්දුවක් පිළිබඳව සඳහන් කරමින්, එම තීන්දුව දුන් පසු ජනතාවට එයට “අත්පොළසන් දිය හැකි වනු ඇතැයි” ජනාධිපතිවරයා මැයි දින රැලියේදී ප්‍රකාශ කළ බවයි . ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ අඩංගු ස්වරය අනුව, එය අධිකරණ ක්‍රියාවලියට සිදුකරන මැදිහත්වීමක් ලෙස පෙනී යන බව නීතීඥ සංගමය සිය නිවේදනයේ සඳහන් කරයි.

අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීමේ වැදගත්කම අවධාරණය කරනා ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනුයේ මෙවැනි ප්‍රකාශ හේතුවෙන් අධිකරණය කෙරෙහි මහජනතාව තුළ පවතින විශ්වාසය පළුදු විය හැකි බවයි .

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 C (1) වගන්තියට අනුව, ඕනෑම විනිසුරුවරයෙකුට හෝ අධිකරණ බලය ක්‍රියාත්මක කරන නිලධාරියෙකුට බලපෑම් කිරීම හෝ උපදෙස් ලබා දීම වරදක් බව නීතිඥ සංගමය එම නිවේදනයෙහි සඳහන් කරයි .