වර්තමාන සමාජයේ ජංගම දුරකථන සහ නව තාක්ෂණයට ඇබ්බැහි වීම හේතුවෙන් පවුල් සංස්ථාව සහ මානව සබඳතා බිඳ වැටී ඇති බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසති.
නිදහස් වෙළෙඳ ආර්ථිකය මෙරටට හඳුන්වා දීමත් සමඟ සමාජය තුළ පරිභෝජනවාදය අන්තයටම වර්ධනය වී ඇති බවත්, ඒ හරහා මිනිසුන් තුළ කෘත්‍රිම ආසාවන් ඇති කරමින් මුදල් ඉපයීම අද වන විට සමාජය මෙහෙයවන ප්‍රධාන සාධකය බවට පත්ව ඇති බවත් උන්වහන්සේ පෙන්වා දෙති .
සීදුව ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවසූහ.
නිදහස් වෙළෙඳ ආර්ථිකය විසින් මිනිසුන් තුළ මින් පෙර නොතිබූ අසීමිත ආසාවන් සහ අවශ්‍යතා ඇති කර ඇතකර ඇති අතර වෙළෙඳපොළ පාලනය වන්නේ ද මිනිසුන්ගේ සැබෑ අවශ්‍යතා මත නොව, කෘත්‍රිමව ඇති කරන ආසාවන් හරහා මුදල් ඉපයීමේ අරමුණින් බව උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ කාදිනල් හිමියෝ මෙසේ පැවසූහ
” මේ නිදහස් වෙළෙඳ ආර්ථිකය මේ රටට හඳුන්වා දීමෙන් පස්සේ රටේ මිනිස්සුන්ට නැති ආසාවන් ඇති වෙලා තියෙන්නේ මේකට කියන්නේ පරිභෝජන වාදය කියලා පුළුවන් තරම් එකතු කර ගැනීමට තියෙන ආසාව. දැන් ඉස්සර නම් පාරේ මනුස්සයෙක් තනියෙන් කතා කර කර ගියොත් අල්ලලා ගිහින් අංගොඩට භාර දෙනවා. දැන් මිනිස්සු මේ කලේ මොකක්දෝ එකක් ගහගෙන කෑ ගගහා ඇවිදිනවා.
පරිභෝජන වාදයේ එක අංගයක් තමයි සමහර අය ඇවිත් මට කියනවා දැන් ඔබ වහන්සේ ලේටර්ස්ට් එක ගත්ත ද කියලා. මට තේරෙන්නේ නෑ මේ ලේටර්ස්ට් එක කියන්නේ මොනවාද කියලා. අපිට ෆොන් එකක් තිබුණම ඒකෙන් කෝල් එකක් ගන්නයි පණිවිඩයක් දෙනයි තමයි ඔය පාවිච්චි කරන්නේ දැන්මේ ෆෝන් එක තමයි සම්පූර්ණ ජීවිතය.
ඇදට ගිහිලත් ෆෝන්එක බල බලා ඉන්නවා රෑ තිස්සේ නිදා ගන්නේ නෑ එළී වෙනකම් වැඩසටහන් බලනවා. අම්මලා තාත්තලා දරුවෝ පවුල් ජීවිතයක් නෑ වටිනාකම් ඔක්කොම නැති වෙලා. මාර්කට් ඉකෝනොමි ඒ කියන්නේ වෙළෙඳ ආර්ථිකය ඇඟ ඇතුලේ නැති ආසාවන් ඇති කරලා එවායින් මුදල් හම්බ කිරීම තමයි අද සමාජය මෙහෙයවන්නේ. ඉගෙන ගත්තම අපි හිතනවා අපි ලෝකේ ගැන දන්වා කියලා. සමාජය ඉහළ තත්ත්වයන්ට එනකොට උඩගු වෙනවා.”