චන්දිමාල් ජයසිංහගේ අවුරුදු උත්සවය ගැන CID යට පැමිණිල්ලක්

ප්‍රකට රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ විසින් සංවිධානය කරන ලද සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සවයට එරෙහිව ජ්‍යොතිර්වේදීන්ගේ විද්වත් කමිටුව අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිළ වශයෙන් පැමිණිළිකර තිබේ.

මෙම උත්සවය මෙරට සාම්ප්‍රදායික අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සහ සංස්කෘතික අනන්‍යතාවය දැඩි ලෙස විකෘති කරමින් පවත්වා ඇති බව එම සංගමය සිය පැමිණිල මගින් පෙන්වා දෙයි.

එහිදී ඔවුන් පෙන්වා දෙන්නේ, සිංහල අවුරුදු උත්සවයේ පෞරාණික වටිනාකම්වලට හානි වන අයුරින් කටයුතු කිරීම තුළින් චන්දිමාල් ජයසිංහ බරපතළ සංස්කෘතික හානියක් සිදුකර ඇති බවයි. සමාජ මාධ්‍ය ඔස්සේ මෙම විකෘති කරන ලද උත්සවය ප්‍රසිද්ධ කිරීම හරහා අනාගත පරපුරට වැරදි සහගත සංස්කෘතික ආදර්ශයන් සැපයීම සම්බන්ධයෙන් ද ඔවුහු සිය විරෝධය පළ කරසිටිති.

මේ හේතුවෙන්, අදාළ සිදුවීම සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වා ඊට වගකිවයුතු පාර්ශවයන්ට එරෙහිව නිසි නීතිමය පියවර ගන්නා ලෙස එම කමිටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

එම අවුරුදු උත්සවයට ඇතුලත්ව තිබූ තරුණියකගේ බඩ උඩ තබා බනිස් කෑම වැනි තරග සමාජ මාධ්‍යයේ බරපතල විවේචනය ලක්විය.