ඉන්ධන මිල සූත්‍රය වහා හෙළිකරන්නැයි ආණ්ඩුවට අභියෝගයක් .

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල පහත යාමට පටන් ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාව හැර ලෝකයේ බොහෝ රටවල මේවන විට ඉන්ධන මිල පහටහ් වැටී ඇති බව හිටපු අමත්‍ය පාඨලී චම්පික රණවක පවසයි .

මේ වන විට කිසිදු බදු අය කිරීමකින් තොරව පෙට්‍රල් ලීටරයක් රුපියල් 220 කට සහ ඩීසල් ලීටරයක් රුපියල් 235 කට කොළඹ වරායෙන් බාගත හැකි නමුත් ආණ්ඩුව තවමත් රුපියල් 400 ඉක්මවූ මිලකට ඉන්ධන අලවිකරමින් ජනතාව ගසාකන බව ඔහු පවසයි .

පසුගිය අප්‍රේල් 08 වැනිදායින් පසු ලෝක වෙළඳපොළේ තෙල් මිලෙහි විශාල වැඩිවීමක් සිදුව නොමැති බව පෙන්වා දෙන ඔහු, රජයට පැහැදිළි ලෙස ඉන්ධන මිල අඩුකළ හැකිබවත්, එසේ නොකරන්නේනම් රුපියල් 400 ඉක්මවූ මිල ගණන්වලට ඉන්ධන අලෙවි කරන්නේ කුමන මිල සූත්‍රයක් යටතේදැයි හෙළි කළ යුතු බවත් ඔහු පවසයි .

ට්‍රැෆිගුරා (Trafigura) ආයතනයට ඩීසල් ලීටරයකට රුපියල් 98ක් වැඩියෙන් ගෙවා ඇති බවත්, තවත් ආයතනයකට රුපියල් 120 ක් වැඩියෙන් මිල ගෙවා ඇති බවත් ඔහු සඳහන් කරයි. මෙවැනි මහා පරිමාන වංචා සිදුකරමින් සිටිනා ආණ්ඩුව රජයේ අසාර්ථකත්වය විවේචනය කරන පිරිස් මර්දනය කිරීමට සහ හිරගෙවල්වල දැමීමට රජය උත්සාහ කරනා නමුත් තමන් ඊට බිය නොවන බවත් ඔහු පවසයි .