නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් අද (23) රාත්‍රී 11.00 සිට හෙට (24) අලුයම 6.00 දක්වා සම්පූර්ණයෙන් වසා තබනා බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි .
පහළ කඩුගන්නාව ප්‍රදේශයේ අවදානම් සහිත ගල් ඉවත් කිරීමේ කටයුතු ආරක්ෂිතව සිදු කිරීම සහ ඊට අදාළ නඩත්තු කටයුතු හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව එම මධ්‍යස්ථානය පවසයි .
මේ සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් මැදිරිය හරහා ද සියලු පාර්ශ්වයන් වෙත අවශ්‍ය දැනුම්දීම් සිදු කර ඇති බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.
එබැවින්, අදාළ කාලසීමාව තුළ එම මාර්ගය භාවිත කිරීමට අපේක්ෂා කරන රියදුරන් සහ මහජනතාව මේ පිළිබඳව අවධානය යොමු කර විකල්ප මාර්ග භාවිත කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කර තිබේ.
මිරිස් තොග වරායේ සිර වෙයි . ඉදිරියේදී මිරිස් හිඟයක් .
ඉන්දියාවෙන් ආනායනය කරනා වියළි මිරිස් තොග වරායෙන් නිදහස් කරගැනීමේදී මතුව ඇති අසීරුතාවය නිසා ඉදිරියේදී යම් ගැටළුවක් ඇතිවිය හැකිබව අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනායන කරුවෝ පැවසූ බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසීය . උත්සව සමයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින් වෙළෙඳ අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය .
වියළි මිරිස් ආනයනයේදී මතුව ඇති ගැටලුව එහි තෙතමන ප්‍රතිශතය ඉහළ යාම බව අමාත්‍යවරයා සඳහන් කළේය . ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතීන්ට අනුව මෙරටට ආනයනය කරන වියළි මිරිස් තොග නිදහස් කර ගැනීම සඳහා ඒවායේ තෙතමන ප්‍රතිශතය 12% ට අඩු විය යුතු නමුත්, ඉන්දියාවේ පවතින අධික වර්ෂාපතනය සහ එල්නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් ඇතැම් මිරිස් තොගවල තෙතමන ප්‍රතිශතය 14% ක් තරම් ඉහළ යාම හේතුවෙන් මිරිස් අඩංගු බහාලුම් නිදහස් කර ගැනීමේදී ප්‍රමාදයන් මතුව ඇති බව ද ඔහු පැවසීය .
කෙසේවෙතත් මිරිස් හැර අනෙකුත් සියලුම ආනයනික භාණ්ඩ කිසිදු බාධාවකින් තොරව මෙරට වෙළෙඳපොළට සැපයීමට හැකියාව පවතින බව ආනායන කරුවන් පැවසූ බව අමාත්‍යවරයා පැවසීය . මෙම තත්ත්වය වෙළෙඳපොළේ මිරිස් හිඟයක් නොව, ආනයනය කරන මිරිස් තොග ප්‍රමිතීන්ට අනුකූලව නිදහස් කර ගැනීමේදී මතුව ඇති ගැටලුවක් බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය .
සැපයුම් ගැටලු ප්‍රයෝජනයට ගනිමින් වියළි මිරිස් ඇතුළු භාණ්ඩවල මිල අසාධාරණ ලෙස ඉහළ දැමීමට වෙළෙඳුන් කටයුතු කළහොත් රජය මැදිහත් වන බව ද අමාත්‍යවරයා පැවසීය.
ඉන්දියාවේ පවතින එල්නිනෝ කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙරටට ආනයනය කරන ඇතැම් භාණ්ඩවල මිල ඉහළ යාමේ අවදානමක් පැවතියද, උත්සව සමය තුළ මෙරටට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව සැපයීමට ආනයනකරුවන් එකඟතාව පළ කර ඇති බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය .
වැඩවර්ජන අසාධාරණයි .
රාජ්‍ය සේවයේ වැටුප් අවස්ථා තුනකදී ඉහළ නැංවීමට රජය කටයුතු කර ඇති පසුබිමක ඇතැම් වෘත්තීය සමිති වර්ජන ක්‍රියාමාර්ගවලට එළැඹීම සාධාරණ නොවන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පැවසීය . ඔහු මේ බව පැවසූවේ යෝජිත කම්කරු නීති ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි .
ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක කම්කරු නීති වර්තමාන ආර්ථික, සමාජීය සහ ශ්‍රම වෙළෙඳපොළ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි ප්‍රතිසංස්කරණය කර නව කම්කරු නීති පද්ධතියක් හඳුන්වාදීමට රජය පියවර ගෙන ඇතිබව ඔහු සඳහන් කළේය .
ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් සාමාජිකයන් 17 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක්ද පත්කර ඇත.