ඉන්දීය උප ජනාධිපති ජනාධිපති අනුර දිසානායක හමුවෙයි

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දියානු උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන්, ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී ඇත . ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව සිදුව ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය සිය එක්ස් ගිණුමේ සටහන් කර ඇත .

එම සාකච්චාවේදී දෙරට අතර මුල්බැසගෙන ඇති ඓතිහාසික සහ සංස්කෘතික වටිනාකම් පිළිබඳව ගැඹුරු ලෙස සාකච්ඡා කර ඇති බවත්, දෙරටේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමක් කිරීම සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා කළ බවත් එම සටහනේ දැක්වෙයි ..

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මෑතකදී සිදු වූ ඉහළ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික කටයුතුවල අඛණ්ඩ පියවරක් ලෙස මෙම සංචාරය අතරතුරදී, ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් , ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය සමඟ ද ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

අනතුරුව ශ්‍රී ලංකාවේ වෙසෙන ඉන්දීය ප්‍රජාව හමුවීමට නියමිත ඉන්දීය උප ජනාධිපතිවරයා, බම්බලපිටිය කදිරේෂන් කෝවිල සහ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වී ආශීර්වාද ලබා ගැනීමටද අපේක්ෂිතයි.

මෙම නිල සංචාරයේ දෙවන දිනය වන හෙට (20) ඉන්දීය උප ජනාධිපතිවරයා නුවරඑළිය ප්‍රදේශයේ ඉන්දියානු ආධාර යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘති නිරීක්ෂණයට එක්වනු ඇති අතර, එහිදී මලෛයගම් ප්‍රජාව හමුවීමට සැලසුම් කර තිබෙනවා.

නුවරඑළිය සීතා අම්මාන් කෝවිලේ ආගමික වතාවත්වලට සහභාගී වීමෙන් අනතුරුව ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් සිය දෙදින නිල සංචාරය නිම කරමින් ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිතයි.