ඉදිරි පැය 36 තුළදී අඩුපීඩන තත්ත්වයක්

ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය, ඉදිරි පැය 36 තුළදී අඩු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති අතර දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවයි දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කරයි.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලත් බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවලත් තද සුළං ඇති විය හැකි අතර, මුහුදු ප්‍රදේශ රළු විය හැක.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණ, වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ඇති විය හැක.

මෙම නිවේදන පිළිබඳ සහ අනාවැකි පිළිබඳ අවධානයෙන් සිටින ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් මෙන්ම ජනතාවගෙන් ඉල්ලා සිටියි.