ඉදිරි පැය 24 ට අදාලව ධීවර සහ නාවික ප්‍රජාවට අනතුරු ඇඟවෙයි .

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 ට අදාලවන්ම පරිදි දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය නිකුත් කර ඇත. එම නිවේදනයට අනුව බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කළාපයක් නිර්මාණය වී ඇති අතර, එය ඉදිරි දින කිහිපය තුළ දී තවදුරටත් වර්ධනය වනු ඇති බව පැවසේ .

එහි බලපෑම හේතුවෙන් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වැසි සහ සුළං තත්ත්වය වැඩි විය හැකි බැවින් ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරි නිවේදන සහ අනාවැකි සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසත් දැනුම් දී ඇත.

කන්කසන්තුරය සිට පුත්තලම, කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩි විය හැක. පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක.