ඉදිරියේදී තවත් අය දිවි නසාගත හැකි බව නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න පවසයි.

විපක්ෂයේ දේශපාලනඥයන් බහුතරයකට එරෙහිව මේ වනවිටත් අධිකරණ රැසක නඩු විභාග වෙමින් පවතින බැවින්, ඉදිරියේදී ද දේශපාලන කරළිය තුළ සියදිවි හානිකරගැනීම් වැනි සිදුවීම් වාර්තා විය හැකි බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පැවසීය .

බිංගිරිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය .

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ සියදිවි නසාගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

හිටපු දේශපාලනඥයන්ට රැසකට මේවන විටත් සිරදඬුවම් නියමව ඇතිබවත්, මහින්දානන්ද අලුත්ගමගේ වසර 20 කට, හිටපු වෙළෙඳ අමාත්‍යවරයා වසර 25 කට සහ සරණ ගුණවර්ධන 16 කට වශයෙන් බන්ධනාගාර ගතව අති බවත් පැවසීය .

මීට අමතරව රාජපක්ෂ පවුලේ සෑම සාමාජිකයෙකුටම පාහේ නඩු පෝලිමක් පවතින බව පැවසූ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, ඉදිරියේදී බොහෝ පිරිසකට සිරගත වීමට සිදුවනු ඇති බවත්, ඊට පෙර ඇතැම්විට මෙවැනි සියදිවි හානිකරගැනීම් සිදු විය හැකි බවද පැවසීය .

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය .

“පසුගිය දවස්වල සියදිවි නසාගැනීම් කිහිපයක්ම වුණා. මීට පෙර සියදිවි නසාගත් අයෙක් තමන්ගේම අත්අකුරින් ලියූ ලිපි මඟින් අධිකරණයට සහ අල්ලස් කොමිසමට තොරතුරු හෙළි කර තිබුණා, කාල්ටන් නිවසේදී මහින්ද රාජපක්ෂට වාර කිහිපයකදී සහ එයාර් බස් ගනුදෙනුවට අදාළව හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට අල්ලස් ලබාදුන් ආකාරය පිළිබඳව.

දැන් හිටපු පොලිස්පතිවරයෙකුත් සියදිවි නසාගෙන තිබෙනවා. ඉදිරියට තව කී දෙනෙකුට මෙවැනි තීරණ ගන්න වෙයිද දන්නේ නැහැ .”