ත්රස්තවාදය වැළැක්වීමේ පනතේ සහ ප්රතිත්රස්ත පනතේ පැවති අඩුපාඩු රැසක් යෝජිත ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතෙහිද අන්තර්ගත බව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය නිකුත්කළ නිවේදනයක දැක්වෙයි . එම පනත් කෙටුම්පත සංශෝධනය විය යුතු ආකාරය සම්බන්ධයෙන් වන නිර්දේශ 9 ක්ද ඉදිරිපත් එම නිවේදනයේ සඳහන් වෙයි .
ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්යවරයා පසුගිය 6 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ යෝජිත පනත් කෙටුම්පත, අත්තනෝමතික ක්රියා සහ වෙනස්කම් වැළැක්වීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ නීති ප්රතිපත්තිවලට අනුකූලව සකස් විය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය නිකුත් කර ඇති එම නිවේදනයේ සඳහන් වෙයි .
කෙසේ වෙතත් ආන්දෝලනාත්මක ත්රස්තවාදය වැළැක්වීමේ පනතේ සහ ඊට විකල්පයක් ලෙස කෙටුම්පත්කළ ප්රති ත්රස්ත පනතේ පැවති අඩුපාඩු රැසක් යෝජිත පනත් කෙටුම්පතේද අඩංගුවීම මානව හිමිකම් කොමිසමේ අවධානයට ලක්ව ඇත . එම නිසා යෝජිත පනත් කෙටුම්පත බලාත්මක කිරීමට පෙර ඒ පිළිබඳ පරිපූර්ණ සමාලෝචනයක් කරන ලෙසත් එම කොමිසම රජයෙන් ඉල්ලා සිටී .
එවැනි කටයුත්තක් සඳහා ස්වාධීන ආයතන, සිවිල් සංවිධාන හා නීති විශාරදයින් වෙතින් අදහස් ලබාගත යුතු බවත්, එමගින් යෝජිත පනත් කොටුම්පත සංශෝධනය කළ යුතු ආකාරය සම්බන්ධයෙන් නිර්දේශ 9 ක්ද එම කාර්යාලය නිකුත් කර තිබේ. එකී නිර්දේශ පහත දැක්වෙයි .
- ත්රස්තවාදයට අදාළ වැරදි සඳහා ලබා දී ඇති නිර්වචන නිශ්චිත සහ පැහැදිලි ආකාරයෙන් ඉදිරිපත් කිරීම, අදහස් ප්රකාශ කිරීම සහ සිවිල් ක්රියාකාරකම් සඳහා වූ අයිතීන් අපරාධ ක්රියා බවට පත් කළ හැකි වගන්ති කැපීපෙනෙන ලෙස සංශෝධනය කිරීම හෝ ඉවත් කිරීම
- සෑම අත්අඩංගුවට ගැනීමක් හා රඳවා ගැනීමක් පමාවකින් තොරව ස්වාධීන සහ ක්රියාකාරී අධිකරණ අධීක්ෂණයකට යටත් කිරීම
- වධහිංසා, පීඩා, අත්තනෝමතික රඳවා ගැනීම් සහ බලහත්කාර අතුරුදන් කිරීම්වලට එරෙහිව ආරක්ෂණ ශක්තිමත් කිරීම
- නිසි ක්රියාවලින් සහ සාධාරණ නඩු විභාග සහතික කිරීම
- ආගන්තුක පරීක්ෂා, ඇතුළු වීමේ සහ පවරාගැනීමේ බලතල සඳහා අධිකරණ වරෙන්තු නීතියක් බවට පත්කිරීම
- සිවිල් පොලිසියක් සඳහා වූ ප්රමුඛත්වය සහතික කිරීම
- ස්වාධීන අධීක්ෂණ, වගවීම් සහ පිළියම් සාධනීය ලෙස ස්ථාපිත කිරීම
- මුක්තියට අදාළ වගන්ති නිශ්චිත ලෙස ඉදිරිපත් කිරීම
- කෙටුම්පතට අදාළ ඉදිරි ක්රියාමාර්ගවලට පෙර අර්ථවත් මහජන අදහස් විමසීමක් සිදුකිරීම
එමෙන්ම ත්රස්තවාදී ක්රියා පිළිබඳ අර්ථ දැක්වීම සැබැවින්ම ත්රස්තවාදී ස්වභාවයක් සහිත සිතාමතා සිදුකරන ප්රචණ්ඩ ක්රියා ලෙස නිශ්චිතව දැක්විය යුතු බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
පනත් කෙටුම්පත මගින් “රහස්ය තොරතුරු” ලෙස අර්ථ දක්වා ඇති කරුණු ජනමාධ්ය මූලාශ්ර සහ නීති වෘත්තියේ වරප්රසාද ආරක්ෂා කිරීම ඇතුළත්ව නිශ්චිතව අර්ථ දැක්විය යුතු බවත් එමගින් නිර්දේශ කෙරේ.