අස්වැසුම ප්‍රතිලාභීන්ට අප්‍රේල් මාසයේදී ද්විත්ව ගෙවීම් සිදු වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාර අසත්‍ය බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි . එය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් සිදුවූ බවත්, අතිරික්තව බැර වූ මුදල් නැවත අය කර ගැනීමට කටයුතු කර ඇති බවත් එම නිවේදනයේ දැක්වෙයි .
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින එම මණ්ඩලය ඊයේ (07) නිකුත් කළ නිවේදනයකට අනුව, මෙම තත්ත්වය උද්ගත වී ඇත්තේ සිංහල හා දමිළ අලුත් අවුරුද්දට පෙර ප්‍රතිලාභ ගෙවීමට ගත් කඩිනම් පියවර නිසාය.
පද්ධතිය තුළ මසකට දෙවරක් ගෙවීම් කිරීමේ පහසුකම් නොමැති වීම නිසා, පද්ධතියෙන් බැහැරව (Slip file format) ගෙවීම් කිරීමට යාමේදී ප්‍රතිලාභීන් පිරිසකගේ ගිණුම්වලට අතිරික්ත ගෙවීම් බැර වී ඇත. ඒ බව හඳුනාගත් වහාම ක්‍රියාත්මක වූ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය අදාළ බැංකු වෙත දන්වා අතිරික්ත මුදල් රජයේ ගිණුමට හරවා ගැනීමට පියවර ගන්න ලද බව එම නිවේදනයේ සඳහන් වෙයි .
අතිරික්ත මුදල් බැර වූ ප්‍රතිලාභීන් අතරින් 49,759 දෙනෙකු මේ වන විටත් මුදල් ලබාගෙන ඇති බැවින්, ඔවුන්ගේ එම මුදල් (රුපියල් 248,795,000.00) 2026 මැයි මාසයේ ගෙවීමට නියමිත දීමනාවෙන් අය කර ගැනීමට නියමිත බවද එම නිවේදනයේ සඳහන් වෙයි .
ඇතැම් පිරිස් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් අසත්‍ය තොරතුරු සමාජගත කරන බවත්, ජනතාව ඒ පිළිබඳව අවදියෙන් සිටිය යුතු බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

