ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේනට ඇප තැබීම සඳහා ඉදිරිපත් වූ ව්‍යාජ ඇපකරුවන් දෙදෙනා හඳුන්වාදුන් පුද්ගලයා ලබන 20 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
ආරිය තිස්ස ද සිල්වා නැමැති ඔහු ගේ මෙහෙයවීම යටතේ අලුත්කඩේ උසාවි සංකීර්ණය ආසන්නයේ පිහිටි සාංචි ආරච්චිවත්තේ පදිංචි මොහොමඩ් රිස්වාන්, මොහොමඩ් ඉර්ෂාන් කපිල චන්ද්‍රසේනට ඇප තබා ඇතිබව වාර්තා වේ.
පළමු සහ දෙවන සැකකරුවන් ඇප ලබා දීම සඳහා අධිකරණයට ඉදිරිපත් කළ ග්‍රාමසේවා සහතික නිකුත් කළ ග්‍රාම නිලධාරිවරයාගෙන්ද ප්‍රකාශ සටහන් කරගත් බවත්, මෙම සැකකරුවන් ඇප තැබීම නිතර නිතර සිදුකර ඇතිබවත් කෙසෙල්වත්ත පොලිසිය අධිකරණය හමුවේ පවසන ලදි .
ඒ අනුව පළමු සැකකරු විසින් මේ වසරේ ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා ග්‍රාමසේවා සහතික 10 ක්ද දෙවන සැකකරු ග්‍රාමසේවා සහතික 7ක් ලබා ගෙන ඇතැයි සඳහන් කළ පොලීසිය සැකකරුවන් දෙදෙනා මෙම ග්‍රාමසේවා සහතික පත්‍ර ලබාගෙන තිබෙන්නේ පදිංචිය සහතික කර බවත් පැවසීය.
ඒ අනුව පළමු හා දෙවන සැකකරු කාලයක් තිස්සේ මේ ආකාරයෙන් ඇප තැබීමේ කටයුතු සිදුකර ඇති අතර මොවුන් සැකකාර කපිල චන්ද්‍රසේනගේ ඥාතීන් නොවන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් පොලීසිය අධිකරණයට දන්වා සිටින ලදි .
මෙම සැකකරුවන් දෙදෙනා ඇප ලබාදීමට ඉදිරිපත් වූ කපිල චන්ද්‍රසේන නැමති සැකකරු මේ වනවට මියගොස් තිබෙන බවත් එම මරණයට හේතු වූ කරුණු පිළිබඳව තවමත් තීන්දුවක් ලබාදී නොමැති බවත් සඳහන් කළ පොලීසිය මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර නොමැති හෙයින් මෙම සැකකරුවන් අප ඉල්ලීම්වලට විරුද්ධ වන බවත් සඳහන් කළේය.
එම අවස්ථාවේදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා, අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුවන් සිදුකළ වරද සම්බන්ධයෙන් නිශ්චිත වගන්තියක් පැමිණිල්ල විසින් ඉදිරිපත් කර නැති නිසා ඇප පනත යටතේ ඔවුන් රිමාන්ඩ් භාරයට පත්කිරීමට හැකියාවක් නොමැති බව පැවසීය.
එමෙන්ම එක් එක් සැකකරුට තිබෙන සාක්ෂි මොනවාදැයි දැක්වෙන සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලීසිය වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් සැකකරුවන්ගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම සැකකරුවන් ලබන 20 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඞ් භාරයේ තැබීමට නියම කළේය .