මියයන්නට පැය කිහිපයකට පෙර කපිල චන්ද්‍රසේන අරවින්දට කී කථාව මරණ පරීක්ෂණයේදී හෙළිවෙයි .

රක්ෂිත බන්ධනාගාරයෙන් ඇප මත නිදහස් වී පැමිණියද තමා නැවත සිරගත කිරීමේ උත්සහයක් පවතින බව ජීවිතක්ෂයට පත්වූ ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන තමන්ට පැවසූවේයයි බවත්, ඔහු ඒ පිළිබඳව දැඩි කළකිරීමකට පත්ව සිටි බවත් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වා පැවසීය .

කපිල චන්ද්‍රසේනගේ අබිරහස් මරණය සම්බන්ධයෙන් වන මහෙස්ත්‍රාත් පරීක්ෂණය කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේදී අද (12) කැඳවනු ලැබු අවස්ථාවේ ඔහු මේ බව පැවසීය .

සිද්ධිය වූ දින රාත්‍රියේ කපිල චන්ද්‍රසේන පසුවූ තත්ත්වය පිළිබඳ වැඩි දුරටත් විස්තර කරමින් ඔහු මෙසේ පැවසීය .

” නැවතත් සිරගත කිරීම සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගන්නා ලෙස මා පැවසූවා . එම ගැටලුව නිරාකරණය කරගනිමු කියා මා ඔහු අස්වැසූවා . ඒත් රාත්‍රියේ නිදන කාමරය සූදානම් කරන අවස්ථාවේදී ද කපිල එම ප්‍රකාශයම නැවතත් පවසා සිටි‍යා. ඔහු දරාගත නොහැකි දැඩි මානසික පීඩනයකින් පසුවූ බව පෙනුනා ”

බන්ධනාගාරගතව සිටි කාලසීමාව තුළ තමන් කිහිප වතාවක්ම කපිල චන්ද්‍රසේන මුණගැසුණු බවත්, ඔහු ඇප මත මුදාහළ පසු තමන්ගේ කාර්යාලයේ සේවය කරන පුද්ගලයෙකු මාර්ගයෙන් නිවසට රැගෙන ඒමට පියවර ගත් බවත් අරවින්ද ද සිල්වා පැවසීය .

පසුගිය 07 වැනිදා මියගිය උදෑසන කපිල චන්ද්‍රසේන තමන්ට දුරකථනයෙන් අමතා ස්තූති කළ බවත්, ඔහුට එරෙහිව නැවතත් අධිකරණ ක්‍රියාමාර්ගයක් පවතින බවට දැනගන්නට ලැබුණු බැවින්, ඔහු තම නිවසට කැඳවා නීතිඥයන් මාර්ගයෙන් උපදෙස් ලබාගත් බවත්, පසුදා උදෑසනම කපිල අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවට නීතිඥ රියන්සි අර්සකුලරත්න පැවසු බවත් ඔහු අවධාරණය කළා. ඒ අනුව පසු දා උදසන ඔහු කැටිව යාමට නීතීඥයෙක් පැමිනීමට නියමිතව තිබූ බවත් ඔහු සඳහන් කළේය .

පසුදා උදෑසන 7ට නීතිඥවරයා නිවසට පැමිණි පසු කපිල චන්ද්‍රසේනට දුරකථනයෙන් ඇමතුම් ලබා දුන්නද ප්‍රතිචාරයක් නොලැබුණු බවත් අවසානයේ “මාස්ටර් කී” එක භාවිත කර කාමරය විවෘත කළ පසු ඔහු සිහිසුන්ව සිටිනු දැකගැනීමට හැකී වූ බවත් අරවින්ද ද සිල්වා සඳහන් කළේය

“මම බිය නිසා කාමරය ඇතුළට ගියේ නැහැ. වහාම රෝහලට සහ පොලිසියට දැනුම් දුන්නා. වෛද්‍යවරුන් පරීක්ෂා කර ඔහු මියගොස් ඇති බව තහවුරු කළා.”

මේ අතර අරවින්ද ද සිල්වාගේ බිරිඳ වන ප්‍රියංගා සිල්වා අධිකරණයට පැවසුවේ කපිල චන්ද්‍රසේන සාමාන්‍යයෙන් තම නිවසට නිතර යන එන අයෙකු නොවන බවයි.

“ඇප ලැබී නිවසට ආ පසු මම ඔහුට ලම්ප්රයිස් සහ වෝටර්මෙලන් ජූස් ලබා දුන්නා. පසුව ඔහු සිය නිවසට ගොස් නැවතත් එදින සවස අපේ නිවසට ආවා. එදින රාත්‍රී 11ට පමණ මම නින්දට ගිය අතර කපිල ලොකු පුතාගේ කාමරයේ නතර වුණා. පසුදා උදෑසන ඔහු කාමරයෙන් නොපැමිණි නිසා මම නීතිඥවරයා සමඟ ගොස් ‘මාස්ටර් කී’ එකෙන් දොර විවෘත කළා.”

කෙසේවෙතත් දොර විවෘත කර ඇතුළට බලන විට ඔහු ඇඳ මත නොසිටි බවත් පුටුවක් නානකාමරය දෙසට හරවා තිබුණූ බවත් ඒ අවස්ථාවේදී නීතිඥවරයා තමාට එළියට යන ලෙස පැවසු බවත් ඇය පැවසූවාය .

මෙම මරණය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වන අතර, තවත් සාක්ෂිකරුවන් පස් දෙනෙකුගේ සාක්ෂි විමසීම සඳහා නඩුව ලබන 14 වැනිදා දක්වා කල් තැබුවා.