භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5 ක් අතුරුදහන් වීම ගැන ආණ්ඩුව දන්නේ නැතිලු

මහා භාණ්ඩාගාර අරමුදල්වලින් ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක් අතුරුදන් වීම සම්බන්ධයෙන් තොරතුරු තමා සතුව නැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවැසීය.

එබැවින් ඒ පිළිබඳව මුදල් අමාත්‍යාංශය විසින් ඉදිරියේදී කරුණු පැහැදිළි කරනු ඇතිබව ඔහු පවසීය . අමාත්‍යවරයා මේ බව පැවසූවේ සතිපතා පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි .

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පරීක්ෂණයක් ඉල්ලා ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න විසින් කථානායකවරයාට ලිපියක් යවා ඇති බවත්, එම ලිපියේ දක්වා ඇති කරුණු සමාලෝචනය කර පරීක්ෂණයක් අවශ්‍ය දැයි කථානායකවරයා තීරණය කරනු ඇතිබවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස වැඩි දුරටත් පැවසීය .

දැනට ඇති වාර්තාවලින් පෙනීයන්නේ, මෙම අරමුදල් 2025 සැප්තැම්බර් මාසයේදී ගෙවීමට නියමිත ඇමරිකානු ඩොලර් මිලියන 22.9 ක පියවීමක කොටසක් ලෙස අපේක්ෂිත ණයහිමි රට වෙත ළඟා වී නොමැති බවය .

මීට අදාලව කරුණු දක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක්ද අදහස් දක්වා තිබුනි . ඔවුන් පවසනුයේ ණය ආපසු ගෙවීමේ ක්‍රියවලියේදි ඩොලර් මිලියන 22.9 ක මුදලකින්, ඩොලර් මිලියන 2.5 ක මුදලක් තෙවැනි පාර්ශවයකට හරවා යවා ඇති බවත් එම මුදල ණය හිමි රටට ලැබී නැති බවත් ය .