“එක දරුවෙක් ලක්ෂ 80කට ඉල්ලුවා” – ගෙයක් නැතුව මහ කැලෑවක ඉන්න පවුලක අනුවේදනීය කතාව

පුංචි සිගිත්තෙකුගේ උපත මුළු පවුලේම සතුටට හේතුවන කාරණයක්. ඒ අතරින් තුන් නිවුන් දරු උපතක් කියන්නේ ඒ සතුට දෙගුණ තෙගුණ කරන්නක්.

හබරණ පුවක්පිටිය ප්‍රදේශයේ 25 හැවිරිදි තරුණ මවකුත් පසුගිය දා පිරිමි තුන් නිවුන් දරු උපතක් සිදුකළා. ඒ මව්වරුන්ගේ දිනයට පැය කිහිපයක් තියෙද්දී.

දරුවෙකු ඉපදුනාට පස්සේ හැම අම්මා තාත්තා කෙනෙකුම සිහින දකින්නේ ඒ දරුවට සැප සම්පත් දීලා සුවෙන් හදන්න.

මේ තුන් නිවුන් දරුවන්ගේ මව වූ ගිහානි සුපෙෂලා කුමාරිටත් පියා වූ සන්ජිත් අසෝක දයානන්දටත් එහෙම හීනයක් තියෙනවා.

හැබැයි දඹුල්ල රෝහලෙන් දරුවන් තුන් දෙනා අරගෙන පසුගිය 14 වැනිදා මොර සුරන වරුසාවේ ඒ අම්මා තාත්තා අවේ සැපපහසු ගෙදරකට නම් නෙමෙයි.

ඒ දඹුල්ලේ සිට කිලෝමීටර් 40ක් පමණ ඈත ගමක මහා වන මැද පිහිටි ටකරන්, තහඩු සෙවිලි කළ විදුලිය, ජලය කිසිවක් නැති පුංචි කටු මැටි ගැසූ පැලකට.

මහ වැස්සේ දරුවන් ත්‍රීරෝද රථයකින් නිවසට රැගෙන යාමට සූදානම් වෙද්දී එ‍ය අපහසු වූ හෙයින් රෝහලට පැමිණි මාධ්‍යවේදීන්ගේ සහායෙන් පුංචි කිරි දරුවන් තිදෙනා නිවසට රැගෙන විත් තිබෙනවා.

දරුවන්ගේ පියා කැලේ ගසක් උඩ තැනූ පැලකින් බිමට වැටිලා මේ වෙද්දි අබාධිත වෙලා ඉන්නේ.

මේ පවුලේ තවත් අවුරුදු 03ක පුංචි දියණියක් ඉන්නවා. මීට පෙරත් නිවුන් පුතුන් දෙන්නෙක් ලැබුණු බවත් ඔවුන් අහිමි වූ බවත් දරුවන්ගේ මව ගිහානි මහත්මිය පවසනවා.

දරුවන් ලැබෙන්න තුරුම වන අලින්ගෙන් බේරෙන්න වන මැද ගසක් උඩ තැනු පැලක රැය පහන් කළ බව‍ මේ දරුවන්ගේ මව වැඩිදුරත් කියා සිටියා.

“ලක්ෂ 80ක් දෙන්නම්. එක දරුවෙක් දෙන්න කියලා මගෙන් එක් පුද්ගලයෙන් ඉල්ලීමක් කලා. ලක්ෂ 80ක් නෙමෙයි කෝටි 80ක් දුන්නත් මම මගේ දරුවෝ කාටවත් දෙන්නේ නැතැයි” දරුවන්නේ පියා පවසනවා.

පුංචි පැටවුන්ට අම්මගේ කිරි ප්‍රමාණවත් බව වෛද්‍යවරු පවසා තිබෙනවා. එහෙත් ළදරු ඇදුම්, සබන්, මදුරු දැල් ආදී අඩුපාඩු රැසක් තියෙනවා.

“මේ පැටවුන්ට ඉන්න අඩුම තරමේ පුංචි කාමර දෙකක් හදලා දෙන්න. ඒක ලොකු ශක්තියක්” යනුවෙන් දරුවන්ගේ මව ඉල්ලීමක් කළා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!