වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ කොමියුනිස්ට් පක්ෂයේ නායක ටෝ ලාම් විසින් හෙට (08) පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතය. මෙම රාජ්‍ය තාන්ත්‍රික අවස්ථාව වෙනුවෙන් පාර්ලිමේන්තු සංකීර්ණය තුළ සහ ඒ අවට විශේෂ ආරක්ෂක විධිවිධාන රැසක් ක්‍රියාත්මක කරන බව කථානායකවරයා පාර්ලිමේන්තුවට අද (07) දැනුම්දුන්නේය .
එම විශේෂ ආරක්ෂක සැලැස්ම යටතේ අද දින සිටම පාර්ලිමේන්තු ගොඩනැගිල්ල දැඩි පරීක්ෂාවට ලක් කෙරෙනු ඇති බව කථානායකවරයා පැවසීය .
ඒ අනුව මන්ත්‍රීවරුන්ගේ විවේක කාමර, ඇඳුම් අල්මාරි ඇතුළු සමස්ත ගොඩනැගිලි සංකීර්ණයම විශේෂ ආරක්ෂක අංශ විසින් පරීක්ෂා කරනු ලබන අතර, හෙට උදෑසන වන විට හඳුනාගත් අධි ආරක්ෂිත කලාපයන් නැවත පරීක්ෂාවට ලක් කිරීමට නියමිත බව කතානායකවරයා දැනුම් දුන්නේය .
ආරක්ෂක හේතූන් මත හෙට දින පාර්ලිමේන්තුවට පැමිණීමේදී හැකි තාක් දුරට පෞද්ගලික රියදුරෙකු සමඟ පැමිණෙන ලෙසත්, අමුත්තන් කැටුව පැමිණීමෙන් වළකින ලෙසත් සියලුම මන්ත්‍රීවරුන්ගෙන් කතානායකවරයා ඉල්ලා සිටියේය . එමෙන්ම තමන් විසින්ම රථය පදවාගෙන එන මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ සේවාවක් ක්‍රියාත්මක වන බව මෙහිදී දැනුම්දුන්නා.
මීට අමතරව, මාධ්‍ය ආවරණ කටයුතු සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ කැමරා ශිල්පියෙකුට පමණක් සභා ගර්භය තුළ රූපගත කිරීම් සඳහා අවසර ලබා දී තිබෙනවා.